කෝවිඩ්-19ට අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උත්සව සමය සමරන ලෙසට උපදෙස් ලබා දී තිබියදීත් අතිබහුතරයක් ජනතාව එම උපදෙස් කඩකරමින් උත්සව සමය සැමරූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිකවරුන්ගේ සංගමය සඳහන් කරයි.  මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම කෝවිඩ්-19 රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවත්, තවත් කෝවිඩ්-19 රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදුකළ යුතු බවත් එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.




කර්මාන්තශාලා හා අනෙකුත් ආයතනවල රාජකාරී ආරම්භ කිරීමට  පෙර සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ  සිදු කරගැනීමට හැකි නම් එය කර්මාන්තශාලාවල හා ආයතනවල සෞඛ්‍ය තත්වය පිළිබඳ හොඳ තීරණයක් වන බවද ඔහු පවසා සිටියේය.  තවත් කෝවිඩ්-19 රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සාප්පු සවාරි යෑමේ සිට සියලුම කටයුතු කෝවිඩ්-19 උපදෙස්වලට  අනුව කටයුතු කරන ලෙසට දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, එහෙත් බොහෝ පිරිස් එම උපදෙස් කඩකරමින් සාප්පු සවාරී යමින් උත්සව සමය සැමරීමට කටයුතු කළ බවත් ඒ මහතා පවසා සිටියේය.


මේ නිසා රටේ සියලුම ජනතාව කෝවිඩ්-19ට අදාළ සෞඛ්‍ය උපදෙස් වන මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථභාවය තබාගැනීම, දෑත් සේදීම, අඛණ්ඩව  සිදුකළ යුතු බවත්, මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් විසින් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට  දෙනිකව සිදු කරන පීසීආර් පරික්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්,  දෛනිකව සිදුකරන පීසීආර් පරික්ෂණ ප්‍රමාණයද ඉහළ දැමිය යුතු බවත්  මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේය.

 -ඉන්දික හේවාවිතාරණ-