uragasmanhandiya-incident

ඌරගස්මංහන්දිය වල්ඉගුරුකැටිය ප්‍රදේශයේ දී විදුලි රැහැන් පරීක්ෂාවට ගොස් සිටිය දී හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බව කියමින් රෝහල්ගත කර සිටිය දී මියගිය විදුලි සේවකයා මරු මුවට පත්වී ඇත්තේ වෙඩි වැදීමකින් බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ඌරගස්මංහන්දිය හා අම්බලන්ගොඩ පොලිසි කියයි.
 


මේ විදුලි සේවකයාට වෙඩි වැදී ඇත්තේ පෙරේදා (30 වැනිදා) පෙරවරුවේ දී අම්බලන්ගොඩ කැපූඇළ ප්‍රදේශයේ නිවෙසක දී බවත් එය වසන් කරමින් ඔහු සමග සිටි අනෙක් විදුලි සේවකයන් ඌරගස්මංහන්දිය වල්ඉගුරුකැටිය ප්‍රදේශයේ දී විදුලි රැහැන් පරික්ෂාවකට ගොස් සිටිය දී සිය සහෝදර සේවකයාට එම ස්ථානයේ ඇති වූ හදිසි පිපිරීමකින් තුවාල වූ බව පවසමින් රෝහල්ගත කරතිබූ බව ද පොලීසිය කියයි.මේ විදුලි සේවකයාට වෙඩි වැදී ඇත්තේ පොලිස් නිලධාරියකුට අයත් ගිනි අවියකින් බව පවසන පොලීසිය වෙඩි වැදීමෙන් මියගිය විදුලි සේවකයා හා එදින ඔහු සමග සිටි අනෙක් විදුලි සේවකයන් සිය මිතුරකු වූ පොලිස් නිලධාරියාට අයත් යයි කියන ගිනි අවිය අතපත ගාපරීක්ෂා කිරීමේ දී එය පත්තුවී මේ විදුලි සේවකයා බරපතළ තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ද පොලිසිය කියයි. මෙසේ මරු මුවට පත්වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ වතුගෙදර සීනිගොඩ උප කාර්යාලයේ සේවය කරන කළුතර දොඩන්ගොඩ පදිංචි ප්‍රියදර්ශන පුෂ්පකුමාර නමැති විසිහතර හැවිරිදි අයෙකු බව ද පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදීමෙන් මියගිය මේ විදුලි සේකයා මියගියේ ඌරගස්මංහන්දිය වල්ඉගුරුකැටිය ප්‍රදේශයේ විදුලි රැහැන් ඇදීමට ගොස් සිටිය දී වල් ඌරකුට ඇටවූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බව පෙන්වීමට ඔහු සමග එකට රාජකාරි කළ සහෝදර විදුලි සේවකයන් සත්‍යවසන් කරමින් කටයුතු කර තිබූ බව ද පොලීසිය කියයි.

විදුලි සේවකයාට වෙඩි වදින අවස්ථාවේ දී පොලිස් නිලධාරියා සිය නිවසේ නොසිටි බවත් මේ සිද්ධිය සැලවූ වහාම ඔහු පැමිණ සිය ගිනි අවිය සැඟවීමට කටයුතු කර ඇති බවත් පොලීසිය කියයි. පොලිස් නිලධාරියා සැඟවූ ගිනි අවිය මේ වනවිට සොයා ගැනීමට හැකි වූ බව ද පොලීසිය කියයි. මේ විදුලි සේවකයාගේ මරණය සම්බන්ධයෙන් ගිනි අවිය සතු පොලිස් නිලධාරියා සහ ඒ අවස්ථාවේ දී ඔහු සමග සිටි විදුලි සේවකයන් පස්දෙනකු ඇතුළු හයදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය කියයි.ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි අම්බලගොඩ සහකාර පොලිස් අධිකාරී රත්නායක, අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විතානගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර, ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික හරිත්, පොලිස් කොස්තාපල් අසංක (66638) යන මහත්වරු හා ඇල්පිටිය විශේෂ ස්ථාන අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)