samantha-vidyaratne-speaks

ආණ්ඩුව තමන්ගේ පැවැත්මට නිලධාරීන් ලවා නීතියට පටහැනි කටයුතු කරගැනීමේ උත්සාහයක නිරතව ඇතැයි
ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික හිටපු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න කියයි.

එමෙන්ම ආණ්ඩුව තමන්ගේ පිරිහීම වළක්වා ගන්නා ඉදිරියේදී තව තවත් බරපතළ ක්‍රියාවල නිරත වනු ඇතැයි
ඔහු පවසයි.
 
ආණ්ඩුව මාධ්‍යට මුඛවාඩම් දමමින් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය
උදුරාගනිමින් සිටින බවටද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය
අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න (WWV/ RWP/ RSP/ USP/ ndc/ psc/
MPhill)  මහතාගේ අස්සනින් යුතුව 2021.02.12 දා නිකුත් කර ඇති 2/2021 චක්‍රලේඛයේ 28
වැනි වගන්තිය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.



“මේ ආණ්ඩුව සත්‍යයට බයයි. විකල්පවලට බයයි. ඇත්ත එළියට එනවට බයයි. ඒ නිසා මාධ්‍යයට තරවටු
කිරීමේ සීමාවෙන් ඔබ්බට ගිහින් මාධ්‍යයට මුඛවාඩම් දමන සීමාවට ඇවිත්. ඒක පැහැදිලි වන කරුණක් තමයි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ අස්සනින් නිකුත් කර
තිබෙන 2/2021 චක්‍රලේඛය. එහි 28 වැනි වගන්තියෙන් තමයි මේ අය මාධ්‍යට මුඛවාඩම් දාන්න
යන්නේ.    

මේ කියන චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ
කමිටු රැස්වීම් පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ යන නමින්. මේ චක්‍රලේඛයේ 28 වැනි වගන්තියේ
දැක්වෙන්නේ “මාධ්‍යවේදීන්ට සභාවේ කරුණු වාර්තා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දිස්ත්‍රික්/
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ අදාළ කමිටුවේ සභාපති හා මහජන නියෝජිතයන්ට
මාධ්‍ය සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්විය හැකිය” කියලයි. මෙයින් වක්‍රාකාරයෙන් කියන්නේ අදාළ
රැස්වීම්වලට මාධ්‍යවේදීන් සහභාගි කර ගන්න එපා කියලයි. ඒක ඍජුව නොකියන්නේ මේ අයගේ කපටිකමටයි.

මේ 28 වැනි වගන්තියේ මාධ්‍යවේදීන්ට සභාවේ කරුණු වාර්තා කිරීමට අවශ්‍ය නම් කියන කොටසින්
හැඟවෙන්නේ රජයට එවන් අවශ්‍යතාවක් නොමැති බවයි. සමහරවිට මෙතෙක් කලක් ඒ ඒ ප්‍රදේශවල
මාධ්‍යවේදීන් මෙම රැස්වීම් ආවරණය කළා කියා මේ විශ්‍රාමික ජෙනරාල්වරයා නොදන්නවාද දන්නෙත්
නෑ. ඒ වගේම මේකෙ තියෙනවා රැස්වීම අවසානයේ අදාළ කමිටුවේ සභාපති හා මහජන නියෝජිතයන්ට
මාධ්‍ය සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්විය හැකිය කියලා. ඒ කියන්නේ ජනතාවගෙන් සඟවන්න ඕන කරුණු
ඉවත් කරලා ආණ්ඩුවට වාසිසහගත කරුණු පමණක් මාධ්‍ය තුළින් එළියට දෙන්නයි එහෙම කරන්නේ. හංගලා
ගහන්නයි මේ යන්නේ.



මේ සම්බන්ධීකරණ කමිටුවලට එන්නේ ඒ ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන්.
ඒවායේ කතා කරන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයට හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ සංවර්ධන කටයුතු
ඇතුළු ජනතාවට අදාළ කරුණු. ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ගැන හෝ රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ වැදගත්
කරුණු මේ රැස්වීම්වල කතා කරන්නේ නෑ. එසේනම් මාධ්‍යවේදීන් මේ රැස්වීම්වලට ආවාම මොකක්ද තියෙන
ප්‍රශ්නය? මෙතෙක් කළක් මාධ්‍යවේදීන් මේ රැස්වීම් ආවරණය කළා. ඒ වගේම තමන්ගේ ප්‍රදේශයට
අදාළව මේ රැස්වීම්වල කතා කරන සියලු දේ දැනගන්න මහජනතාවට අයිතියක් තියෙනවා. මේ රටේ
තොරතුරු පනතක් කියල එකකුත් තියෙනවානේ. මේ දේශපාලකයන්මනේ පාර්ලිමේන්තුවේ අත උස්සලා ඒ පනත
සම්මත කළේ.

එසේනම් දැන් ඇයි හදිසියේම මේ වගේ වාරණයක් ගේන්නේ. ආණ්ඩුවට ජනතාවගෙන් වසන් කිරීමට දේවල්
තියෙන නිසයි. දැන් දැන් මේ ආණ්ඩුව ගැන මහජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.
රජය තමන්ගේ පැවැත්මට නිලධාරීන් ලවා (වැරැදි වැඩ) නීතියට පටහැනි කටයුතු කරගන්න උත්සාහ
කරනවා. මේ රැස්වීම්වලදී සමහර නිලධාරීන් ඒ වගේ කටයුතුවලට විරුද්ධ වෙනවා. නීතියට අනුව තමන්ට ඒ
වැඩේ කරන්න බෑ කියා කරුණු දක්වනවා. එහෙම අවස්ථාවක මාධ්‍යවේදීන් හිටියොත් මේ ඇත්ත එළියට
යනවා. ඒකයි මාධ්‍යවේදීන් රැස්වීමට සහභාගි වීම වළක්වන්නේ.

මේ ආණ්ඩුව බලයට ආවේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනවා (මාධ්‍ය නිදහස
දෙනවා),  විනිවිදභාවයෙන් කටයුතු කරනවා කියලයි. ඔන්න දුන් පොරොන්දු ඉටුකරන හැටි. තමන්ගේ පිරිහීම
වහගන්න ඉදිරියේදී තවත් බරපතළ දේ මේ රජය කරාවි. ඒත් අපි රජයට කියන්නේ ජනතාවගේ තොරතුරු
දැනගැනීමේ අයිතියට අත තියන්න එපා. කරුණාකරලා මාධ්‍යට මුඛවාඩම් දමන මේ චක්‍රලේඛය වහාම
අකුළාගන්න කියලයි.”

      

අනුරාධා හේරත්