[Trending][btop]
[News][stack]

අලුත්ම මාෆියාව කුකුළු මස් - Chicken

chicken-issue

අලුත් අවුරුද්දට සූදානමක් තිබේ. පසුගිය වසරේ නොතිබුණ නෑදෑ ගමන් මෙම අලුත් අවුරුද්දේදී අපේක්ෂා කෙරේ. නිවසට යන එන අමුත්තන්ට තේ පැන් සංග‍්‍රහයකට අමතරව බත් වේලක් සූදානම් කිරීම සිදුවෙයි. අවුරුදු සමරන්නට කලින් ආහාර පාන එකතු කරගැනීමක්ද සිදුවෙයි. ඉල්ලුම වැඩිවන තරමට සැපැයිය නොහැකි වන තැන හිඟයක් ඇතිවෙයි. එය මිල වැඩිකරන හේතුවකි. අවුරුදු කාලයේදී වැඩි මිලකට හෝ තමන්ට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දී ගැනීමට පාරිභෝගිකයෝ යුහුසුළු වෙති. අලුත් වාර්තා අනුව උත්සව කාලයේදී කුකුළු මස් හා බිත්තර මිල වැඩිවිය හැකි බව ප‍්‍රකාශ වී තිබේ. සැපයුම අඩුවනු ඇති අතර සත්ව පාලනයෙහි නිරත පිරිස් දක්වන පරිදි සතුන්ට සපයන ආහාර ප‍්‍රමාණවත් නැත. පාරිභෝගික අවශ්‍යතා සපුරන වෙළඳාමකට කලින් සත්ව ආහාර ප‍්‍රශ්නය විසඳාගත යුතුය.
 
ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමාජ ව්‍යුහය බරපතළ වෙනස්කම්වලට පරිවර්තනය වෙමින් තිබේ. රට තුළ කරන නිෂ්පාදනය ප‍්‍රමාණවත් නැත. නිපදවන සමහර දේ වෙනුවෙන් අවශ්‍ය කරන මූලික දේ මෙරට නැත. ඒවා ගෙන්වීම පාලනය කර තිබේ. මෙම පරිවර්තන කාලසීමාව තුළ කැපවීමක් අවශ්‍යය. මාෆියාවක් බව හුවා දැක්වීම පහසුය. අවශ්‍ය වෙනස්කම් මගින් හොඳ ඉල්ලුමක් හා ප‍්‍රමාණවත් සැපයුමක් සහිත වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම අපහසුය.

• මාෆියාව හැදෙන්නේ වෙළඳපොළ විකෘතියෙන්

මාෆියාව යන වචනය පාවිච්චි කිරීම පහසුය. සහල්, සීනි, එළවළු, පොල්තෙල් සහ ආදී වශයෙන් මාෆියා හඳුන්වන අවස්ථා තිබේ.

අවසානයේදී කුකුළු මස් මාෆියාවක් ගැනද අවධාරණයක් ඇති වී තිබේ. මාෆියා යන වචනය ඇමරිකාවේ හා ඉතාලියේ භාවිතා වෙයි. සංවිධානාත්මක අපරාධකරුවන් එනමින් හඳුන්වයි. ඇමරිකාවේ ප‍්‍රකට කල්ලි ඉතාම සංවිධානාත්මකව අපරාධවල නිරත වූ අතර එය මැඩ පැවැත්වීම බරපතළ ප‍්‍රශ්නයක් වී තිබුණි. ඉතාලියේ ප‍්‍රකට කණ්ඩායම් පහක් 19 වැනි සියවසේ ක‍්‍රියාත්මක වූ බව සඳහන්ය. මෙම කල්ලි අතිශය හිරිහැර කරන තැනට පත්ව තිබුණ අතර සන්නද්ධව නීති නොතකා ක‍්‍රියා කළහ. ආරක්ෂක අංශ පවා භීතියට පත් කරමින් නගර සොලවමින් මනුෂ්‍ය ඝාතන හා දේපොළ පැහැර ගැනීම් වල නිරත වූහ. මේවා සමග මත්ද්‍රව්‍ය ජාවාරම්ද සම්බන්ධය. සාමාන්‍ය ජනතාව මාෆියා යන වචනයටත් කැමැති නැත. නිෂ්පාදකයන් හෝ අතරමැදියන්ගේ බලපෑම මාෆියාවක් සේ දක්වති. සහල් වෙළඳපොළ කටයුතු පාලනය කළ නොහැකි වන අවස්ථාවේදී එය මාෆියාවක් සේ හුවා දක්වන අතර සීනි වෙළඳපොළ හැසිරවීමේදී යම් සිද්ධියක්ද එසේ දක්වන්නට නොපැකිලෙති. එහෙත් අපරාධ මාෆියාවට වඩා වෙළඳපොළ මාෆියාව වෙනස්ය. පාරිභෝගිකයාගේ හැසිරීම වෙනස් වුවහොත් නිෂ්පාදකයන්ට හෝ අතරමැදියන්ට පැවැත්මක් නැත.

අස්වැන්න නෙලන අවස්ථාවේදී අඩු මිලට වී මිල දී ගෙන ගබඩා කළ හැකිය. එහෙත් ආරක්ෂා කරගත හැකි කාලසීමාවක් තිබේ. මෙරට නිපදවන කැකූළු සහල් වලට විදේශ ඉල්ලුමක්ද නැත. අපනයන අවස්ථා පවා අවහිර වන එක හේතුවකි. විශාල ධනයක් වැයකර වී මිල දී ගෙන ඒවා ප‍්‍රමිතියකට අනුව සකස් කර සැපයීම බරපතළ ක‍්‍රියාදාමයකි. එය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තරගයක් තිබිය යුතුය. රජයේ වී මිල දී ගැනීම නිෂ්පාදනයෙන් සියයට දහයක ප‍්‍රතිශතය නොඉක්මවයි. පෞද්ගලික අංශය සහමුලින්ම පාලනය කරන විට යම් යම් පරස්පරතා ඇති කළ හැකිය. දැන් සාකච්ඡා කරන කුකුළු මස් හෝ බිත්තර නිෂ්පාදනයද සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය මෙහෙයවන ව්‍යාපාරයකි. එහි විශාල තරගකාරීත්වයක් නැත. පැටවුන් නිෂ්පාදනය ප‍්‍රධාන ආයතන හතරක් උසුලයි. කොටසක් විදේශයන්ගෙන් ආනයනය කෙරේ. මස් හා බිත්තර වෙළඳාමද ප‍්‍රධාන සමාගම් කිහිපයක අණසකට යටත්ය. මහා පරිමාණයෙන් කරන නිෂ්පාදන සමග තරග කරන්නට සුළු නිෂ්පාදකයන් අසමත්ය. ඔවුන් සපයන පැටවුන් මිලදී ගෙන එම නඩත්තු ක‍්‍රමවේද අනුව කරගෙන යන ගොවිපොළවල වියදම දරාගත නොහැකි වී තිබේ. අවසානයේදී මහා පරිමාණ ගොවිපොළ ඉතිරි වන අතර සුළු නිෂ්පාදකයෝ අත්හැර දමති.

• දුප්පත්කමින් ගැලවෙන්නට කිකිළියන් පස් දෙනෙක් ඇති

බිල් හා මෙලෙන්ඩා පදනම ලෝකයේ ප‍්‍රකට දානපති ආයතනයකි. මයික්‍රෝසොෆ්ට් නිර්මාතී සහ නවෝතාපාදකයකු වන බිල් ගේට්ස් ලෝකය ලස්සන තැනක් කරන්නට ඔහුගේ ධනය යොදවමින් සිටී. පවතින කොවිඩ් වයිරසය පාලනය කරගනු සඳහා එන්නතක් නිපදවන්නට සිය ධනය පරිත්‍යාග කරන ලද හෙතෙම සූර්ය විදුලිය මහා පරිමාණයෙන් ගබඩා කළ හැකි බැටරි ගැන පර්ෙය්ෂණවලටද ආධාර කර ඇත. එක අවස්ථාවක හෙතෙම අප‍්‍රිකානු උප කලාපයේ දුප්පත් ජනතාව ගේ යහපත වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.4ක් පරිත්‍යාග කළේය. ජාත්‍යන්තර සත්ව පාලන සංගමයට එය පිරිනමන ලද අතර ටැන්සානියාවේ හා නයිජීරියාවේ දුගී පවුල්වල කාන්තාවන්ට කිකිළි පැටවුන් සැපයීමට එම ආධාර යොදවන ලදී. එම කලාපයේ දුප්පත් ජනකොටස සියයට හතළිස් එකක් වන අතර එක පවුලකට කිකිළි පැටවුන් පස් දෙනෙකු සැපයීමෙන් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් 1000ක් ආදායමක් ඉපැයිය හැකි ව්‍යවසායක්  කරගෙන යා හැකි වෙතැයි ගණන් බලා තිබුණි. රෝගවලට ඔරොත්තු දෙන සහ සාමාන්‍ය ආහාරවලින් යැපෙන කිකිලියන් පස් දෙනෙකු බැගින් වන ව්‍යාපෘති මිලියන 2.5ක් ඉලක්ක කළේය. එය යම් ප‍්‍රමාණයකින් සාර්ථක වෙන්නට ඇත. නිවෙසේ පෝෂණ අවශ්‍යතාවලට අමතරව බිත්තර විකුණා ලබන ආදායම යන්තම් එදිනෙදා අවශ්‍යතාවලට සැහෙන පියවරක් වූ බව නිසැකය.

ශ‍්‍රී ලංකාව මෙවැනි සුළු ව්‍යවසායවලට සූදානම් නැත. මැදි ආදායම් රටකි. අතට එන ආදායම අසීමාන්තික විය යුතු අතර ව්‍යවසාය ගැන සොයන්නේ මැද පෙරදිග හෝ අඩුම තරමින් කොරියාවට පැන රස්සාවක් කරන අදහසින්ය. ලංකාවේ වාණිජ බැංකු සත්ව පාලනය අසාර්ථක එකක් බව තක්සේරු කරයි. ක්ෂුද්‍ර මුල්‍ය ණය අංශ සත්ව පාලනයට ණය දෙන්නේ බිල් හා මෙලෙන්ඩා පදනම හිතන රාමුව අනුව නොවේ. කිකිළියන් නැතත් පොලිය අතට එන ගිවිසුමක් සහිතවය. මෙම වාතාවරණය හෙයින් මෙරට සුළු ව්‍යවසායකයෝ අසරණ වී සිටිති. බැංකුවලින් ප‍්‍රතික්ෂේප කරන හෙයින්, ප‍්‍රාග්ධනය සොයා ගැනීමට අපහසු වන අතර පැටවුන් මිල දී ගැනීම ආහාර සැපයීම, රෝගවලට ප‍්‍රතිකාර පමණක් නොව නිෂ්පාදන අලෙවියද ගැටලු සහිතය.

ලංකාවේ නීතිය අනුව අපිරිසිදු බිත්තර වෙළඳාම නීති විරෝධීය. සුළු නිෂ්පාදකයකුගේ කටයුතු වටලන මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු එකවතාවක් අධිකරණයට යොමු කළහොත් ව්‍යවසාය අවසන්ය. මහා පරිමාණ නිෂ්පාදකයෝ විශාල ප‍්‍රචාරයක් සහිතව බිත්තර හා මස් අලෙවි කරති. පාරිභෝගිකයන්ද ඒවාට යොමුවන අතර සාමාන්‍ය නිෂ්පාදකයකුට සහනයක් දෙන්නේ කෙසේදැයි කල්පනා කරන්නේ නැත.

• ප්‍රෝටීන අවශ්‍යතාව සම්පූර්ණ කරන පියවරක්

මෙරට ජනතාවගේ ප්‍රෝටීන පරිභෝජනය පසුගිය වසර විසි පහ තුළ වෙනස් වී ඇති ආකාරය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා දක්වයි. ධාන්‍ය ප්‍රෝටීන පරිභෝජනය අඩු වී තිබේ. මස් පරිභෝජනය වැඩි වී ඇත. මාළු ආහාරයට ගැනීම සීමා වී තිබේ. එය වෙළඳපොළ අනුව සිදුවූ නැඹුරුවකි. ධාන්‍ය ආහාරයට ගැනීම අඩුවන හේතුව ආකල්ප ප‍්‍රශ්නයකි. උදෑසන නිවෙස කලබලකාරීය. ලෙහෙසි දෙයක් බේකරියෙන් මිල දී ගැනීම ගෘහණියට පහසුවකි. අනෙක ධාන්‍ය මිල වැඩිය. මෙරට ගොවියන් අවශ්‍ය තරමට ධාන්‍ය වර්ග නිපදවන්නේ නැත. එයට ගැලපෙන වැඩපිළිවෙළක් කෘෂි නිලධාරීහු සකස් නොකරති. දිගටම වී වගා කර අසරණ වන නමුත් මුං ඇට හෝ කුරක්කන් වගා කරන්නේ නැත. සත්ව පාලනයෙහි නිරත පිරිස් දක්වන අන්දමට කුකුළු ආහාර වශයෙන් පවා බඩ ඉරිඟු සපයා ගැනීම ප‍්‍රශ්නයකි. පිටරටින් ගෙන්වීම තහනම් කර ඇති පසුබිමක රට තුළ ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් අවශ්‍යය.

අනෙක මුහුදු මාළුවල මිල ගණන් දරුණුය. මාළු විකුණන්නේ අන්තිම ග‍්‍රෑම් ගණනට කිරා බලා අධික මිලකටය. සාමාන්‍ය ජනතාවට ඇතැම් මාළු වර්ගවල මිල කිසිසේත් ඔරොත්තු නොදේ. කුතුළු මස් මිල අඩුය. පරිභෝජනය වැඩිවෙයි. කුකුළු මස් කිලෝව රු.එකසිය ගණනක සිට රු. 400 ඉක්මවා මිල වැඩි වී තිබේ. උත්සව කාලයේදී මස් හිඟ විය හැකිය. වෙළඳපොළ අවශ්‍ය තරමට නිෂ්පාදනය නොකිරීම එයට බලපාන සාධකයකි. ඉල්ලුම ඉහළ යන නමුත් සැපයුම වැඩි නොකරන හේතුව නිෂ්පාදන පිරිවැය ඉහළ යාම බව ප‍්‍රකාශ වෙයි. සත්ව ආහාර මිල වැඩි වී තිබේ. දැනට වැඩිම ප‍්‍රමාණයක් භාවිතා කරන්නේ බඩ ඉරිගු ආශ‍්‍රිත ආහාර බව දැක්වෙයි. මෙරට ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට පවා ප‍්‍රමාණවත් තරමට ඉරිඟු සමහර කාලවලට හිඟය. සහල් කුඩු හෝ ප‍්‍රීමා සමාගමේ අතුරු නිෂ්පාදන භාවිතා කර සත්ව පාලනය කරන තරමට වඩා වෙළෙඳපොළ මස් අවශ්‍යතාව වර්ධනය වී ඇත. මිනිස් අවශ්‍යතා වෙනුවෙන්ද ධාන්‍ය වගා නොකරනන පසුබිමක සතුන්ට ආහාර පිණිස වෙන් කරන  ප‍්‍රමාණය අඩුවන විට සතුන් ඇති කිරීම ප‍්‍රශ්නයකි. මස් හිඟ වන විට මිල වැඩි වෙයි. මාෆියාව හැදෙන්නේ අප නොදැනුවත්වය. සංවිධානාත්මක අපරාධයක් වශයෙන් හැඳින්වීම අනුචිතය.

• රජයේ බලධාරීන්ට මැදිහත්වන වගකීමක්

ආහාර නිෂ්පාදන අංශය නියාමනය කිරීම අවශ්‍ය සාධකයකි. ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ හැසිරෙන අන්දම හා පාරිභෝගික රුචි අරුචිකම් ගැන දත්ත රටට ඇත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම තොරතුරැ එක්රුස් කරන අතර නිතිපතා අවශ්‍ය අයවලුන්ට නිකුත් කරමින් සිටී. ඒවා නිසි සේ ප‍්‍රයෝජනයට ගන්නේ නැත. කෘෂිකර්ම බලධාරීන්ට රටට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කල්තබා සැලසුම් කිරීමේ හැකියාවක් ඇත. වසරකට පරිභෝජනය වන කුකුළු මස් හා බිත්තර ප‍්‍රමාණය ගණන් බැලීම අපහසු දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ඒක පුද්ගල පරිභෝජනය කුකුළු මස් කිලෝ 5.7 කි. බිත්තර 54ක් එක පුද්ගලයෙකු වසරකට අනුභව කරයි. මෙම ඉලක්කය සපුරා ගැනීමට වැඩ පිළිවෙළක් හදන්නට නොහැකියාවක් නැත. නිෂ්පාදනයෙහි නිරත ගොවියන් එකතුකර ඔවුන්ගෙන් දත්ත ලබාගෙන සැලසුම් හදන්නට තරම් නිලධාරීහු අලසය. ඔවුන්ට අතිකාල නැත. වාහන හිඟය. නිලධාරීන් අවශ්‍ය තරමට නැත. එහෙමත් නැත්නම් පරිගණකයේ දෝෂයක් බව කියන්නට ඉඩ තිබේ. මේවා නිරවුල් නොකරන රටක මාෆියාවකට බලය ලැබීම රහසක් නොවේ.

ශ‍්‍රී ලංකාව අලුත් යුගයකට ඇතුළු විය යුතුය. අද රට තුළ අප‍්‍රමාණ තොරතුරු සම්භාරයක් තිබේ. පසුකරමින් සිටින්නේ තොරතුරු තාක්ෂණ කාල පරිච්ඡේදයකි. පවතින දත්ත වලින් ජන ජීවිතය පහසු කරන තීරණ නොගැනීම අපරාධයකි. තොරතුරු ප‍්‍රමාණවත්ව නොලැබෙන සහ උපකල්පන මත තීන්දු ගෙන ලෙජර් පොත්වල ගණන් හදා සැලසුම් ක‍්‍රියාත්මක කළ කාලයේ රට අදට වඩා සැලසුමක් තිබුණි. භාණ්ඩ හිඟවන විට අතරමැදියන්ටත්, වෙළඳ මාෆියාවටත් දෙස් තැබීම නරකය. ව්‍යාපාරික අංශ වල රාමුව වෙනස්ය. එකී අංශ නිසි පිළිවෙළකට හැදීම ආණ්ඩුවේ වගකීමකි. එම වගකීම කෘෂිකර්ම හා සත්ව පාලන නිලධාරීන්ට පැවැරී තිබේ. කැබිනට් අමාත්‍යවරයා කරන්නේ ප‍්‍රතිපත්ති හැදීමය. ප‍්‍රතිපත්ති වෙනස් කර අලුත් යුගයකට හැරවීමට කැබිනට් අමාත්‍යවරයාට ඉඩ නොදෙන මෙරට ව්‍යුහය ඔහුට බලකරන්නේ මාෆියාව පාලනය කරන පියවර ගැනීමය. උඩු යටිකුරැ වී ඇති ක‍්‍රමය නිසි පිළිවෙළකට සකස් කර නොගන්නා තාක් මාෆියාවක වග කියැවෙනු ඇත.

ගාමිණී සරත් ගොඩකන්ද