madampe-incident

මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ නිවෙසකදී දිවි නසාගත් පුද්ගලයකුගේ මෘතශරීරය සම්බන්ධයෙන් ඉකුත්
03දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එම පුද්ගලයාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී තිබූ බව
මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. පවුලේ
සිදුවූ ආරවුලක් මත සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව මෙම පුද්ගලයා දිවි නසාගත් බව සිදුකළ විමර්ශනවලදී
හෙළිවූ බව මාදම්පේ පොලිසිය පවසයි.



මෙම පුද්ගලයාගේ සිරුර හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මොහුට
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී තිබූ බවට තහවුරු වී ඇත.

මෙම තහවුරු වීමත් සමඟ මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට සිරුර කොළඹ
අයි.ඩී.එච්. රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා වෙත යොමු
කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

මියගිය පුද්ගලයාගේ පරීක්ෂණ කටයුතු සිදුකළ ග්‍රාම නිලධාරිවරයා හා පොලිස් නිලධාරිවරයා  ස්වයං
නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇත. එම නිවැසියන් හා ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධායනයට
ලක්කිරීමට කටයුතු කරන බව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය
පරීක්ෂක කුලරත්න අතපත්තු මහතා  පවසයි. මාදම්පේ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර
පරීක්ෂණ පවත්වති.


ආරච්චිකට්ටුව - අනුරාධ