rakitha-rajapaksa

රාජගිරියේදී රිය අනතුරක් සිදු කළ රඛිත රාජපක්ෂ යන අය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදා
හැරීමට කොළඹ රථවාහන අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා ඊයේ (20දා)
නියෝග කළේය.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු ප්‍රතිකාර ලබමින් රැඳී සිටි පෞද්ගලික රෝහල වෙත ගොස්
කරුණු සලකා බලා මෙම නියෝගය නිකුත් කර තිබිණි.



මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දින සැකකරු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වැලිකඩ පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝහල තුළදීම පොලිස් ආරක්ෂාව
යටතේ තබා ගැනීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහි ගොස් කරුණු විමසා බලා ඇප මත මුදාහැර
තිබිණි. වැලිකඩ, රාජගිරියේදී පෙරේදා (19දා) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විමර්ශනයක්
සිදුකළ වැලිකඩ පොලිසිය පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතාගේ
පුතෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත්තේය.

ඒ ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මාර්ග සංඥා පුවරුවේ රතු එළිය
දැල්වී තිබියදී ‘ඩිස්කවරි’ වර්ගයේ ජීප් රියක් පදවාගෙන පැමිණි රාජපක්ෂ මහතාගේ පුතා රථය
නොනවත්වා වේගයෙන් ධාවනය කිරීමේදී අනෙක් දිසාවෙන් පැමිණි වෑන් රියක් හා ගැටී ඇත.

ජීප් රිය වෑන් රියේ ගැටුණද එය පැදවූ රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පැදවූ ජීප් රිය
නොනවත්වා පලාගොස් තිබිණි.

පසුව තුවාලකරුවන් හයදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් කාන්තාවක් ගැබිනියක්
බවද කියැවේ. පෙරේදා (19දා) රාත්‍රි 11.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වැලිකඩ
පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයේදී කොටා පාර අවට සී.සී.ටී.වී. කැමරා සෝදිසි කිරීමටද පියවර
ගෙන තිබිණි.

එම පිරික්සීමේදී අනාවරණය වී ඇත්තේ ජීප් රියේ රියැදුරා රතු එළිය දැල්වී තිබියදී රථය නොනවත්වා
ධාවනය කර ඇති බවයි.



අනතුරින් පසු නොනවත්වා පලාගිය රථයේ රියැදුරු පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ජීප් රිය පදවාගෙන පැමිණ ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ යන අය බවත් ජීප්
රියේ වෙනත් පුද්ගලයන් සිට නැති බවත් කරන ලද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. පසුව සැකකාර
රියැදුරා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව අනාවරණය කරගත් පොලිසිය මේ පිළිබඳව
අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මහෙස්ත්‍රාත්වරයාද සැකකරු
ප්‍රතිකාර ලබාගන්නා රෝහලට යෑමට නියමිතව තිබිණි.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත
වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


හංසි නානායක්කාර, කීර්ති මෙන්ඩිස්, කොළඹ - ජයසිංහ, බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ