shantha-mayadunne-remember

ප්‍රවීණ සූපවේදිනියක වූ ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියක හදිසියේ දිවියෙන් සමුගෙන දෙවසරක් පිරීම නිමිත්තෙන් පළවන ලිපියකි.  

ජීවිතය අප සිතූ සිතූ අයුරින් වෙනස් කරගත නොහැකිය. කෙනකුට මා මේ තාක් කල් ජීවත් වන්නේ යැයි සිතුවාට එය බලාපොරොත්තුවක් මිස ලබාගත හැකි දෙයක් නොවේ. අප ආ මග අපට හිමි දින යා යුතුය. එය පසක් කරමින් අකලට ජීවිතය හැර යන බොහෝ දෙනා අප අතර සිටිති. තව කලක් රටට මෙන්ම ලොවට වැඩදායි ලෙස ජීවත් විය යුතු පුද්ගලයන් පවා එසේ නොසිතන ලෙස ජීවිතයෙන් සමුගන්නා අවස්ථා කොතෙකුත් තිබේ. මීට දෙවසරකට  පෙර එසේ අප අතරින් නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගත් සමූහය අතර අපේ දයාබර හිතවතියක  සොයුරික ද වූවාය. ඇය අපේ රටට විශේෂයෙන් ගෘහණියට කාන්තාවට පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට සුපවේදිනියක ලෙසට පමණක් නොව උපදේශකවරියක මෙන් උපදෙස් දුන්නාය. ඒ අතීත මතකය අවදි කරමින් මීට දෙවසරකට පෙර හදිසියේ නොසිතු ලෙසට අපෙන් සමුගත් ශාත්තා මායාදුන්නේ නම් සුපශාස්ත්‍ර ශිල්පිනිය ගැන එම ක්‍ෂේත්‍රයේම ඉතාම ජනප්‍රිය පුද්ගලයකුගෙන් ඇසීමට සිතුවෙමු.

ඒ, ගල්කිස්ස මහ හෝටලයේ සුපශාස්ත්‍ර ගවේෂණ සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ පබ්ලිස් සිල්වයි.  එතුමා ශාන්තා මායාදුන්නේ ගැන මෙසේ පැවැසුවේය.  
“ශාන්තාත් මාත් සුපශාස්ත්‍රය සම්බන්ධව කටයුතු කළාට අපි දෙන්නා එම ක්‍ෂේත්‍රයේ පැතිකඩ දෙකක නිරත වූ අයයි. මම හුඟාක් වැඩ කරන්නේ හෝටල් ක්ෂේත්‍රයට. එයා හෝටල්වලට නෙවෙයි වැඩ කළේ ගෘහණියට. එයා වැඩමුළුවලින් කාන්තාවන් අතර අපේ රටේ ප්‍රධානම පෙළේ ගුරුවරියක්. ඒ හැර එයා  ප්‍රායෝගිකව එවැනි දෑවල නිරතව සිටියේ නෑ. ඒත් එයා විශේෂයෙන් ලාංකික කාන්තාවන්ට ඉතාම හොඳ සේයක් කළා. මමත් ශාන්තා හොඳටම හඳුනාගත්තේ සිරිකත පුවත්පතෙන් කළ රසමැදුර වැඩමුළුවේදී. ඒ එක්දාස්  නවසිය අනූ ගණන්වලදී.


ඊට පෙර ප්‍රචාරක කටයුතුවලදී හඳුනාගෙන තිබුණත් මට මෙම වැඩමුළුවට ආරාධනා කිරීමෙන් අපි අතර සුහදත්වයක් ගොඩනැගුණා. සැබැවින්ම එයා අපේ රටට හොඳ සේවයක් කළා.  මම හුඟක් සුපවේදී කටයුතු කරන්නේ දේශීය දේ මිශ්‍රවයි. ශාන්තා හුගක් කළේ දෙස් විදෙස් ආහාර මිශ්‍ර කරමින්. ඒවා එයාට ආවේනිකයි. එයාගේ අරමුණ කාන්තාව විශේෂයෙන් ගෘහණිය ඉස්සර අපේ අම්මලා වගේ ගේ ඇතුලේ වැඩි කාලයක් කුස්සියට වී කාලය ගත කිරීම අනවශ්‍යයි, කටට රසට පවුලට කෙටි කාලයෙන් කෑම ටික හදල දෙන්න පුළුවන් කියන දෙය. එය ඇත්තටම පවුලට ඉතාම වැදගත්. අද එදා වගේ කුස්සියේ කාලය ගත කරන්න කාන්තාවකට වෙලාවක් නෑ. රැකියාවක් නොකරන කාන්තාව පවා හුඟක් වෙලාවට කිසියම් හෝ ස්වයං රැකියාවක් කර පවුලේ ආර්ථිකයට යම් තරමින් දායක වෙනවා.



එකම කෙනකුට රසට ගුණට කෙටි කාලෙන් අරපිරිමැස්මන් ගෙදර කෑම ටික හදන්න පුළුවන් නම් එය ඉතාම වැදගත්. ඒ දෙය ශාන්තා පුන පුනා අපේ කාන්තාවන්ට පැහැදිලි කළා.   ශාන්තා අපේ කාන්තාවන්ට ප්‍රායෝගිකව නොවුණත් අරපිරිමැස්ටමන් ආහාර වේල සකස් කරගැනීමට හොද දැනුමක් ලබාදුන්නා. ඒ වගේම එයා කළ සෑම වැඩමුළුවකම ප්‍රධාන තේමාව වුණේ අරපිරිමැස්ම හා කෙටි කාලය යන්නයි. එය පවුලට ඉතාම වැදගත්.  සැබැවින්ම ඇගේ වියෝව අපේ රටට විශේෂයෙන් කාන්තාවන්ට පාඩුවක්. එයා හිටියා නම් අප දෙදෙනාට සම්බන්ධ වෙලා තවත් යමක් කරන්න තිබුණා. ඇය දෙස් විදෙස් ලැබූ සුපවේදය අපේ කාන්තාවන්ට පුරුදු කළා. විදෙස් රටවල කාන්තාවන් කෑම සකසන්න පැය ගණන් කාලය වැය කරන්නේ නෑ. ඇය එය වැඩමුළු මගින් අපේ කාන්තාවන් හුරු කිරිමට උත්සාහ කළා. මෙහිදී අරපිරිමැස්ම කෙටි කාලය සම්බන්ධ කරමින් නිවසේ කෑම පිළියෙල කිරිමට ඇය දුන් උපදෙස් ඉතාම වැදගත්.

අප දෙදෙනා එක්ව වැඩමුළු පවත්වා නෑ. ඒ වගේම එකම ස්ථානයක කෑම පිසීම කරලත් නෑ. ඒත් එයාගේ ආරාධනාවලට මම සහභාගි වෙලා තියෙනවා. විශේෂයෙන් සිරිකත පුවත්පත කළ රසමැදුරෙන් එයාගේ උපදෙස් මා අසා සිටියා. එය කාන්තාවන්ට ගෘහණියට   හොඳ පණිවුඩයක් බව මට හැමවිටම තේරුණා. මා එය ඇයට පැවැසුවා.  සැබැවින්ම ශාන්තා මායාදුන්නේ ඉතාම හොඳ නිහතමානී චරිතයක්. මම ඇය හැමවිටම අගය කරනවා. අපේ රටේ සුපවේදය ජනප්‍රිය කිරීමට ශාන්තා හුඟක් දායක වුණා. අතීතයේ එහෙම තිබුණේ නෑ. ගෙදර අම්මා ගෘහණියක ලෙසට දරුවන්ට සැමියාට කෑම පිස දුන්නා. ඇය එය රටට කලාවක් ලෙසට ජනප්‍රිය කළා. එය ඉතාම වැදගත්. අපි හෝටල් ක්‍ෂේස්ත්‍රයේ නිසා ඒ ගැන එතරම් නොසිතුවත්, ශාත්තා සුපවේදය ශාස්ත්‍රයක් කලාවක් ලෙසට ඉතාම සරලව ඉදිරිපත් කිරිමට ගත් උත්සාහය රටට විශේෂයෙන් ගෘහණියන්ට කාන්තාවන්ට  අමතක නොවන දෙයක්. ඒත් කෙනකුට ජීවිතයෙන් සමුගන්න දිනය ළං වුණොත් ඒ ගමන යන්නම වෙනවා. ඇය දියණිය සමඟම ඒ ගමන ගියා. අපි ඔවුනට නිවන් සුව පතමින් ඇගේ සේවය සැමදා අගය කරමු.
 
ශිරාණි ගල්ලෑල්ල