2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික අරමුණක් මුල් කරගෙන සිදුකරන
ලද එකක් නොවන බවත් එය යම්කිසි කණ්ඩායමක් විසින් දේශපාලන බලය රැකගැනීම උදෙසා සැලසුම් කරන
ලද එකක් බව පෙනී යන බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සඳහන් කළහ.

මෙම සිද්ධියට ආගමික අන්තවාදයක් සම්බන්ධ බවක් නොපෙනෙන බව සඳහන් කළ කාදිනල් හිමිපාණන් කියා
සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය යම්කිසි කණ්ඩායමක් ආගමික අන්තවාදය ඔවුන්ගේ වාසියට හරවා
ගනිමින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බැව් පෙනීයන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා ඉදි කරනු ලැබූ ස්මාරක දෙකක්
විවෘත කිරීම ඊයේ (18දා) දින පස්වරුවේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.



කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ
ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් මිහිදන් කෙරුණු බොරැල්ල සහ මාදම්පිටිය පොදු සුසාන භූමි දෙකෙහි මෙම
ස්මාරක දෙක ඉදිකර තිබුණි. බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක්ව
සිටි අතර ඔවුහු ඉටිපන්දම් දල්වා මිය ගිය අය සිහිපත් කළහ. ඊට අමතරව කාදිනල් හිමිපාණන් විසින් විශේෂ
දේව මෙහෙයක්ද බොරැල්ල පොදු සුසාන භූමියේ පිහිටා ඇති ස්මාරකය අසලදී පවත්වන ලදී.

මේ අතර එළැඹෙන දින කිහිපය තුළ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටුවාපිටිය ශාන්ත
සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. 2019 වසරේ
අප්‍රේල් 21 වැනි දින කතෝලික දේවස්ථාන 3ක් සහ කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3ක්ද
ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයෝ 260කට අසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූහ.


බුද්ධික සමරවීර