pastry-death-wives

සේවිකාවක දුන් කෙටි අහරක් (pastry) සමඟ තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා
භාරකරු හදිසියේ මියයෑමෙන් පසුව විවාහක බිරිය හා දරුවන් බව කියූ පාර්ශ්ව කිහිපයක් දේහයට හිමිකම්
ඉල්ලමින් කලහකිරීම නිසා දේහය ඔවුන්ට දීම තරයේ ප්‍රතික්‍ෂේප කරමින් සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්‍ෂක ජේ. එම්. ජයතිලක මහතා තීරණය කළේය.
 
වසර ගණනාවක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ශ්‍රී පුෂ්පදාන සමිතියට අයත් විශ්‍රාම
ශාලාවේ භාරකරු වශයෙන් සේවය කළ දිසානායක මුදියන්සේලාගේ කුමාරසිංහ මහතා මිය යෑමෙන් පසුව
ඔහුගේ විවාහක බිරිය බව කියමින් විශ්‍රාමික 72 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක හා පුතුන් යැයි කියන
පිරිසක් දේහය ඉල්ලා කලහකාරී අන්දමින් හැසිරීම නිසා නාගරික හදිසි මරණ පරීක්‍ෂකවරයා, අධ්‍යක්‍ෂ
මණ්ඩලයට සිරුර දීමට නියෝගය නිකුත් කළේය.

මියගිය අය විවාහවී සිටි කාන්තාව සමඟ පැවැති අමනාපකමක් නිසා ඉංග්‍රීසි ගුරුවරියක වන කාන්තාවක
සමඟ විවාහවූ බව පැවැසූ බවත් තමන් දන්නා තරමට මියගිය අය කාන්තාවන් කිහිපදෙනකුම ඇසුරු කළ බවත්
මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් පවිත්‍රතා කම්කරු කාන්තාවක වන අනුරාධපුර නීරාවිය ලිපිනයේ පදිංචි
සෙබස්තියන් සරස්වතී පැවැසුවාය.



තමන් මියගිය අයට තේ සහ කෙටි ආහාරයක් ගෙනවිත් දුන් බවත් එය ආහාරයට ගැනීමෙන් පසුව ඔහු
වැසිකිළියට ගොස් එක්වරම කෑගසාගෙන පිටතට පැමිණ පුටුවක වාඩිවූ බව සාක්‍ෂිකාරිය හදිසි මරණ
පරීක්‍ෂණයේදී පැවැසුවාය.

ඔහු අසනීප තත්ත්වයකින් පසුවන බව වැටහීම නිසා 1990 ගිලන් රථයක් කැඳවා රෝහල් ගත කිරීමට කටයුතු
කළ බව ඇය පවසා තිබුණාය. මරණයෙන් පසුව ඔහුගේ බිරිය බව කියූ විශ්‍රාමික ගුරුවරියට ඒ බව
දුරකථනයෙන් දැන්වූ බව අෑ හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවැසුවාය.

මියගිය තැනැත්තා පසුගිය කාලය පුරා කාන්තාවන් කිහිපදෙනකු සමඟ ඇසුර පවත්වා තිබෙන බව කළ
පරීක්‍ෂණවලදී අනාවරණය වූ අතර බිරිය බව කියනා විශ්‍රාමික ගුරුවරිය ඔහුගේ සිරුර තමන්ට අවශ්‍ය බව
පැවැසූ අතර තවත් තරුණයකු ඇතුළු පිරිසක් මියගිය අය සිය පියා බව පවසමින් සිරුර ඉල්ලා හදිසි මරණ
පරීක්‍ෂණ උසාවිය පරිශ්‍රයේ කලහකාරීව හැසිරී තිබේ.

මියගිය අයට වෙන්නප්පුව ප්‍රදේශයේ දේපළ තිබෙනා බව මරණ පරීක්‍ෂකවරයා අනාවරණය කරගෙන තිබූ
අතර බිරිය හා දරුවන් බව කියමින් පෙනී සිටි පුද්ගලයන් දේපළ නිසා සිරුර ඉල්ලා පොරකන්නට ඇති බවක්
වැටහීම නිසා දෙපාර්ශ්වයේම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් ශ්‍රී

පුෂ්පදාන සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික අතරින් සභාපතිවරයාට
දේහයේ අවසන් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස නාගරික හදිසි මරණ පරීක්‍ෂක ජේ. එම්.
ජයතිලක මහතා නියෝග කළේය.



මරණ පරීක්‍ෂණ කටයුතුවලින් පසුව පසුගිය (02දා) මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කෙරිණි.

ඔහුගේ හදිසි මරණයට හේතුව පසුගිය 4දා උදෑසන වනවිටත් අනාවරණය වී නොතිබිණි. අනුරාධපුර මූලස්ථාන
පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ලියනගේ (47870) මහතා මරණ පරීක්‍ෂණ සාක්‍ෂි
මෙහෙයවීය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය