murali-real-news

මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ
පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අසනීප තත්ත්වයට පත්වූ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක
මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රෝහල් ගතවීමෙන් අනතුරුව මේ වනවිට සාමාන්‍ය
තත්ත්වයට පැමිණ තිබේ. 

එහිදී මුරලිදරන්ගේ හෘදයේ රුධිර නාළිකාවක තිබූ අවහිරතාවක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කිරීම
සඳහා රෝහල්ගත කර ඇත.

කෙසේ වෙතත් මුරලි සම්බන්ධයෙන් ඉන්දියාවේ පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව
මුත්තයියා මුරලිදරන්ගේ කළමනාකරු මෙන්ම ගුණජය සතුට පදනමේ භාරකාර මණ්ඩලයේ කුෂිල් ගුණසේකර
මහතා සඳහන් කළේය.



 “මුරලි කොළඹ ඉන්න අවස්ථාවක අනතුරක් පිළිබඳව ලක්‍ෂණයක් නොතිබුණත් එයාගේ වාසනාවට නවලෝක
රෝහලට ගිහින් රූෆින් ටෙස්ට් (රූෆින් පරීක්‍ෂණයකට) එකකට මුරලි මුහුණ දුන්නා. ඒ පරීක්‍ෂණයේදී හෘදය
වස්තුවේ නාලවල පොඩි අවහිරතා වගයක් තියෙනවා කියලා සටහන් වෙලා තිබුණා. සමහර වෙලාවට මෙය
බෙහෙත් දීලා මර්දනය කරගන්න පුළුවන් කියලත් ‍ෙදාස්තරවරු කියලා තිබ්බා. හැබැයි එහෙම වුණේ
නැත්නම් (බෙහෙත්වලින් මර්දනය නොවුණහොත්) ස්ටෙන්ට් ක්‍රමයකට (Angioplasty and stent
placement-හෘදයේ පටු හෝ අවහිර වූ ධමනි විවෘත කිරීමට උපකාරී වන ක්‍රියා පටිපාටියකි) යන්න
ඕන කියලත් ඔවුන් මුරලිට පහදලා දුන්නා.  මෙය සිදුවෙලා දැන් මාසයක් විතර වෙනවා. නමුත් එයා ඒක
ලංකාවේ කළේ නැහැ.

ඊට පස්සේ එහෙ (ඉන්දියාවේ) ගියාට පස්සේ එයාගේ බිරියගේ හිතවත්කම් මත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්
ලබාගත් උපදෙස් අනුවයි මෙම ශල්‍යකර්මය කරලා තියෙන්නේ. ඒ විශේෂඥ වෛද්‍යවරු කියලා තියෙන්නෙත්
මෙම ස්ටෙන්ට් ක්‍රමය කරගන්න කියලයි. ඒ නිසා මුරලිට මෙයින් තුනක් දාලා තියෙනවා. නමුත් ඉන්දීය
මාධ්‍යවේදීන් පළ කරලා තියෙන්නේ මුරලිට හෘදයාබාධයක් (heartattack) හැදුණා කියලයි. එය
සම්පූර්ණ අසත්‍යයක්.

 කොහොම වුණත් මෙය දැම්මට පස්සේ එයාට ලොකු පහසුවක් සැලසිලා තියෙනවා. දැන් එයා සාමාන්‍ය
විධියට ඔහුගේ රාජකාරි ටික කරන්න හැකියාවක් තියෙනවා. වැරදිලාවත් මුරලි මෙම ස්ටෙන්ට් ක්‍රමයට
නොගිය නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. ඒ කියන්නේ හාට් ඇටෑක් එකක් වගේ දෙයක් වුණත් වෙන්න
තිබුණා. එයාගේ වාසනාවට මෙය කරපු නිසා එයට ඉක්මනින්ම ඉස්පිරිතාලෙන් එන්න පුළුවන් වුණා”



“මේ දවස්වල මුරලි අයි.පී.එල්. වලට සම්බන්ධ වෙලා හිටියත් එයා බබල් එකෙන් (කොරෝනා නීති
රාමුවෙන්) එළියට ආපු නිසා දවස් 6ක නිරෝධායන කාලසීමාවකට යටත්වීමට සිදුවෙලා තියෙනවා.  තව
දවස් 6කට පස්සේ එයා පුහුණු කරන ටීම් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. එයා ලෙජන්ඩ්ස් මැච් එක
සෙල්ලම් කළේ නැත්තේ මෙම අසනීපය නිසා කියලා සමහර අය කියලා තිබුණා. ඒත් එයා ලෙජන්ඩ්ස් මැච්
එක ගැහුවේ නැත්තේ එයාගේ අවිවේකී බව නිසයි. මේ අසනීපය ඒකට සම්බන්ධයක් නැහැ. හැබැයි
මෙහෙම දෙයක් තියෙනවා. ඔය හෘදය වස්තු ප්‍රශ්නවලට මානසික ආතතිය ලොකු බලපෑමක් කරනවා.

 ඒ කියන්නේ හරියට නින්දක් නැති වුණාම, ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිකම නිසා මේ වගේ ප්‍රශ්න
එන එක නතර කරන්න බැහැ. මේ නිසා දවසට පැය 7ක්වත් නිදාගැනීම හරි වැදගත්. මුරලිටත් වුණේ ඒ
දේ කියලා මට හිතෙනවා. මුරලි ශල්‍යකර්මයට යන්න  කලිනුත් රෝහලෙන් පිට වෙනකොටත් මට කෝල් කරලා
විස්තර කිව්වා. මේක දැම්ම කියලා මුරලිට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඔහුට සාමාන්‍ය විධියට
රාජකාරි ටික කරන්න පුළුවන්. කොහොම වුණත් ඉන්දියාවේ පුවත්පත්වල මුරලිට හාට් ඇටෑක් එකක් කියලා
දැම්මේ ගංගුලිට හාට් ඇටෑක් හැදිලා රෝහල්ගත කළ නිසාත්, විවේක් කියන නළුවටත් හාට් ඇටෑක් එකක්
හැදිලා රෝහල්ගත කළ නිසාත් වෙන්න ඇති” යනුවෙන්ද ගුණසේකර මහතා සඳහන් කළේය.

විචිත්‍ර වීරසිංහ