gimhana-story

හදිසි අනතුරකට ලක්වීම නිසා ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කෙරුණු 19 හැවිරිදි තරුණයකුගේ අක්මාව, වකුගඩු දෙක සහ ඇස් දෙක එම තරුණයාගේ මවුපියන්ගේ කැමැත්ත මත ලබාගෙන රෝගීන් පස්දෙනකුට බද්ධ කිරිමේ සැක්කම සාර්ථකව ඊයේ (20) සිදුකළ බව එම සැත්කම් කළ වෛද්‍යවරු පවසති. මෙම තරුණයාගෙන් ලබාගත් එක් වකුගඩුවක් මහනුවර ජාතික රෝහලේ දී ද අනෙක් වකුගඩුව අනුරාධපුර මහ රෝහලේදී ද රෝගීන් දෙදෙනකුට බද්ධ කළ අතර අක්මාව කොළඹ ජාතික රෝහලේදී සාර්ථක ලෙස රෝගියකුට බද්ධ කළ බව එම ශල්‍යකර්මවලට හවුල් වූ වෛද්‍යවරු පැවැසූහ.

මෙසේ බද්ධ කිරීම සඳහා සිරුරු කොටස් ලබාගත්තේ මාවනැල්ල රුකුලගම පදිංචිව සිටි පසිඳු ගිම්හාන රත්නායක නමැති 19 හැවිරිදි තරුණයාගෙනි.

ගිම්හානගේ මව වන ආර්.එස්. සුනේත්‍රා මානෙල් මහත්මිය පුතාගේ සිරුරු කොටස් පරිත්‍යාග කිරීමට කැමැත්ත දී මේ බව සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටින සිය සැමියා වන ඩබ්ලිව්. රත්නායක මහතාට දැනුම් දීමෙන් පසුව ඔහු ද පුණ්‍යකර්මයට කැමැත්ත දී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රොහාන් සිරිසේන මහතා ත්‍රිකුණාමලය රෝහලට ගොස් ගිමිහානගේ අක්මාව සහ වකුගඩු දෙක සිරුරෙන් ඉවත් කරගැනීමේ කටයුතු සාර්ථකව සිදුකර ඇත.මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ සිරුරු කොටස් ලබාගැනීමේ ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරන හෙද නිලධාරි අනුර රත්නායක සහ එහි සහකාර සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරන හෙද නිලධාරි ආර්.එම්. ජයවර්ධන මහත්වරු ද මෙම අවස්ථාවට හවුල් වී ඇත. ගිම්භනගේ සිරුරෙන් ඉවත් කරගත් අක්මාව රෝගියකුට බද්ධ කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව ද වෛද්‍යවරයෙක්ස ඳහන් කළේය.ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ අනුපම හේරත් සහ එම රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ සිරුරු කොටස් ලබාගැනීමේ ඒකකය භාර වෛද්‍ය රසික විජේරත්න යන මහත්වරුන්ගෙන් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට සුවිශේෂී දායකත්වයක් ලැබී ඇත. මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ සිරුරු කොටස් ලබාගැනීමේ ඒකකය බාර වෛද්‍ය අරුණ අබේසිංහ මහතා මේ කටයුත්ත සම්බන්ධීකරණය තිබේ.

සිරුරු කොටස් පරිත්‍යාග කිරීමෙන් මොවුන් කළේ ඉතා උතුම් ක්‍රියාවක් බව වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පවසයි.ක

ොළඹ ජාතික රෝහලේ දී අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන රුවන් දිසානායක සහ රොහාන් සිරිසේන යන මහත්වරුන් විසිනි. මහනුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහතා ගිම්හානගේ එක් වකුගඩුවක් බද්ධ කිරිමේ ශල්‍යකර්මය සිදුකළ අතර අනෙක් වකුගඩුව බද්ධ කිරීම අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආමන්ත මාරසිංහ මහතා විසින් සිදුකරනු ලැබීය. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නියෝජිතයන් දෙදෙනකු ගිහානගේ ඇස් දෙක ලබාගෙන ඇත. "මියගිය ගිම්හාන මගේ සහෝදරියගේ පුතා. ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ඉන්න අපේ අම්මා බලන්න අලුත් අවුරුද්දට ඇවිත් යද්දී ගිය 16 වැනිදා ගිම්භන පුතා පදවාගෙන ගිය ත්‍රිරෝද රථය කන්තලේ ප්‍රදේශයේදී නවතා තිබූ රථයක ගැටීමෙන් ඔහුගේ මව, සහෝදරයා හා කුඩා දරු දෙදෙනා තුවාල ලැබුවා. ගිමිහානගේ අක්කාගේ මාස 6ක් වයසැති දරුවා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබනවා" යැයි සුනේත්‍රා මානෙල් මහත්මියගේ සහෝදරයකු වන ආර්.එස්. ලලිත් චන්දන කුමාර මහතා ත්‍රිකුණාමලයේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවා.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)