kurunegala-hospital-issue

වැරැදි රුධිර පරික්ෂණ වාර්තාවක් ලබාදී එය රෝගියාගේ ඇඳ  ඉහපත් ගොනුවෙන්  අස්ථානගත කළ සිදුවීමක් ගැන කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.  කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික රසායනාගාරයකින් නිකුත් කර ඇති මෙම වැරැදි රුධිර පරික්ෂණ වාර්තාව රෝගියාගේ ඇඳ ඉහපත් ගොනුවෙන් අස්ථානගතව ඇති බවට ඔහුගේ දියණිය වන නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ  පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.  පවුලේ වෛද්‍යවරයා රෝගියාට කළ නිර්දේශයක් මත ඉලෙක්ට්‍රොලයිට්ස් සිරම් නමැති පරීක්ෂණය අදාළ පෞද්ගලික රසායනාගාරයෙන් කළේ යැයි ද, පසුව වකුගඩු සම්බන්ධ වෛද්‍යවරයකු විසින් වාර්තාව  පරික්ෂා කර තම පියාගේ ජීවිතය අවදානම් මට්ටමක ඇති බැවින් වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙස උපදෙස් දෙන ලදැයි ද, ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.


 මෙම වාර්තාව වැරැදි වාර්තාවක් විය යුතු යැයි ද එසේ නොවේ නම් රෝගියා මිනිත්තු දහයක් වැනි කාලයකදී මිය යා යුතු යැයි ද අදාළ පරික්ෂාව කළ  වෛද්‍යවරයා පැවැසී යැයි ද ඒ අනුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අදාළ වාර්තාවේ දත්ත මත තම පියාට පොටෑසියම් ලබාදීමට රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කළේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය එහි සඳහන් කර ඇත.



පසුව රෝහලෙන් ද ඉලෙට්‍රොලයිට්ස් සීරම් පරික්ෂණය කළේ යැයි ද එහිදී පළමු වාර්තාවේ වැරැදි දත්ත මත ප්‍රතිකාර කිරීමට සිදුවීම නිසා තම පියාගේ සිරුරේ පොටෑසියම් අගය හෘදය අක්‍රීය වන තරමට  ඉහළ ගොස් තිබුණු බවට වෛද්‍යවරුන් පැවැසී යැයි ද එම පැමිණිලේ කරුණු සඳහන් කර ඇත.  අනතුරුව අදාළ වැරැදි වාර්තාව සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් පෞද්ගලික රසායනාගාරයෙන් කරුණු විමසීමෙන් පසුව එහි කළමනාකාරිත්වය තමාට දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් එම වාර්තාව ඉල්ලාසිටියේ යැයි ද එහි සඳහන් වේ.


කෙසේ වෙතත් වාසික ප්‍රතිකාර ලබමින් සිටි තම පියාගේ සුවදුක් බැලීමට තමා පසුව ගියවිට අදාළ වාර්තාව ඇඳ ඉහපත් ගොනුවෙන් අතුරුදන්ව තිබුණේ යැයි ද නිමාලි පියතිස්ස මහත්මිය රෝහල් අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.  සිදුවීම සම්බන්ධයෙන් නිමාලි පියතිස්ස මහත්මිය සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කර ඇත.


 -බිගුන් මේනක ගමගේ-