තමා ඉදිකළ නිවෙස පිරිසක් කඩා දමා ඇති බවත් ඒ පිළිබඳව පොලිසියෙන් නිසි පියවර නොගත් බවත් පවසමින් වැලිපැන්න දොඩම්පාපිටියේ තිදරු පියෙක් ඔහුගේ දරුවන් තිදෙනා සමග පරේදා (30) ඉත්තපාන නව පොලිස් ස්ථානය විවෘත කිරීම සදහා පැමිණි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේ විරෝධය පෑවේය. වැලිපැන්න දොඩම්පාපිටියේ පදිංචි අගම්පොඩි සේපාල ද සොයිසා නමැති තිදරු පියකු මෙසේ විරෝධය දැක්විය.දරු තිදෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටි තමාට අයිති ඉඩමේ නිවස එම ප්‍රදේශයේම පදිංචි පොලිස් නිලධාරියකුගේ පියකු සහ සොහොයුරකු ඇතුළු පිරිසක් පැමිණ ඉඩම ඔවුන්ට අයත් බව පවසමින් කඩා බිඳ දැමූ බවත් තමාගේ නිවෙසට ආයුධ හෝ මත්ද්‍රව්‍ය දමා සිරගත කිරීමට කටයුතු කරන බවට තර්ජනය කළ බවත් ඒ පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව තමා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් දැමීමට පැමිණි බවත් එම අවස්ථාවේ වැලිපැන්න පොලිසියේ තම රාජකාරිය ඉටුකිරීමට නිලධාරින් කටයුතු නොකළ බවත්, තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් එම පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයන්ගෙන් තමාගේ ජීවිතයට අවදානමක් ඇතිවීම තිබෙන බවත්, තමාට පොලිසිය භාර ඇමතිවරයාගෙන් හෝ පොලිස්පතිවරයාගෙන් හෝ සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙසේ ඉත්තපාන පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවය තිබෙන ස්ථානයට පැමිණ විරෝධය දැක්වූ බවත් ඔහු පැවසීය.එම අවස්ථාවේ දී ඔහු වෙත පැමිණි අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ උසස් පොලිස් නිලධාරිහු ඔහුගේ දුක්ගැනවිල්ල අසා කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් දුන්හ.




මේ පිළිබඳව වැලිපැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුෂ රූපසිංහ මහතා මෙසේ පැවසිය. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අගම්පොඩි සේපාල ද සොයිසා මහතාගේ ගැටලුව පිළිබඳව ඔහුගේ නිවස පිහිටි ස්ථානයට ඔහු සමග ගොස් මම සොයා බැලුවා. ඔහු කොන්ක්‍රීට් කණු 4ක් යොදාගෙන වහලක් ගසා කුඩා නිවසක් ඉදිකර තිබෙනවා. ඔහු එය ඉදිකර තිබෙන්නේ පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේ බව ප්‍රදේශවාසීන් පවසනවා. තමන්ගේ ඉඩම් කොටසක අනවසරයෙන් ඉදිකළ නිසා එය කඩා දැමූ බව අනෙක් පාර්ශ්වය පවසනවා. කෙසේ නමුත් මේ එක පාර්ශ්වයක්වත් තම හිමිකම් ඔප්පු මේ වන තෙක් පොලිසියට ඉදිරිපත් කර නැහැ. 

 

ඔහු තමාගේ නිවසට හානි කළ බවට දැනුම්දීමට පොලිසියට පැමිණියත් එම අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ගෙන් විමසා ඇත්තේ ස්ථානාධිපතිවරයාවයි. එවිට ස්ථානාධිපතිවරයා ඉත්තපාන නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ කටයුතුවලට ගොස් ඇති බව පවසා තිබෙනවා. එවිට ඔහු පොලිසියෙන් පිටව ගොස් මෙසේ ඉත්තපාන පොලිසිය විවෘත කිරිමේ උත්සවයට පැමිණි අමාත්‍යවරයා සහ පොලිස්පති වෙත තමාට අසාධාරණයක් වූ බවට පවසා සිටියා. ඔහු එහිදී ප්‍රකාශ කළේ ඔහුගේ නිවෙස කැඩූ පවුලේ එක පුතෙක් පොලිස් නිලධාරියක් බවත්, ඔහු තමාට සාධාරණයක් කිරීමට ඉඩ නොදී අප පොලිසියට බලපෑම් කරන බවත්, නමුත් එම පොලිස් නිලධාරියා කිසියම් විදියේ බලපෑමක් හෝ දුරකතන ඇමැතුමක් වත් මෙතෙක් අප වෙත නොදුන් බවය.කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව පොලිස් නිලධාරින් විදියට අපට කළ හැකි උපරිම සාධාරණය ඉටුකිරීමට කටයුතු කරනවා. ඉක්මනින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා එම පරීක්ෂණ වාර්තාව කොට්ඨාස භාර පොලිස් අධිකාරි මගින් පොලිස්පති වෙත යැවීමට කටයුතු කරනවා යැයි ද පැවසීය.


 (මතුගම බන්දු තඹවිට)