යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැගවී සිටි ටිපර් රථ රියැදුරකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක අජිත් කුමාර මහතා බව ද පොලිසිය කියයි.   නීතිවිරෝධී අයුරින් ටිපර් රථ යොදා ගනිමින් වැලි ප්‍රවාහනය කරන බවට යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශවාසීන් විසින් පේදුරුතුඩුව  පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළව, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පේදුරුතුඩුව  පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හයදෙනකු එම ස්ථානයට යමින් සිටිය දී මෙම සිද්ධිය වී ඇතැයි පොලීසියේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පොලිස් නිලධාරින් අදාළ ස්ථානයට ළඟා වෙමින් සිටිය දී වැලි පටවාගෙන පෙරේදා (4) උදේ 7.30ට පමණ ආ ටිපර් රථයක් නිලධාරින් ඉදිරියට පැමිණ ඇති අතර එය නවතන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත දිගුකර සංඥා ලබා දී ඇති බවත්, එහිදී රියැදුරු රථය නොනවත්වා ධාවනය කරමින් ඉදිරියට විත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හප්පා පලා ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.

එම සිද්ධියෙන් පසුව ටිපර් රථ රියැදුරා ප්‍රදේශයෙන් පලාගොස් සිට ඇති අතර, විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසු එම සැකකරු යාපනය  වඩමාරච්චි ප්‍රදේශයේ සැඟවී සිටිය දී ඊයේ (05) සවස අත්අඩංගුචට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ දකුණු පාදයට  මෙම අනතුරින් තුවාල සිදුවී ඇති අතර, ඔහු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්  වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බවත් එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙම සැකකරු යාපනය පේදුරුතුඩුව අධිකරණයට අද (6) ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය කියයි.

-නිමන්ති රණසිංහ -