gmoa-statement

මේ වන විට යම්කිසි ආකාරයකින් යළිත් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමක් පෙන්නුම්කරමින් තිබෙන අතර රෝහල් තුළ දැඩි සත්කාර ඒකක ධාරිතාවයන් ඉක්මවා යමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.



එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දැඩි සත්කාර ඒකකවල සේවය උපරිම මට්ටමට ළඟා වෙමින් පවතින බවයි.

ආසාදිතයින් 8000ක් පමණ හඳුනාගන්නා විට දැඩි සත්කාර තුළ ප්‍රතිකාර ලැබුවේ 15ත් 16ත් අතර පිරිසක් වන නමුත් මේ වන විට ආසාදිතයින් 3000ක් පමණ හඳුනාගන්නා තත්ත්වයක් දැඩි සත්කාර තුළ 35ක් පමණ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි කොළඹගේ මහතා කියාසිටියේ.

එමෙන්ම මේ වන විට තරුණ වයසේ රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් පෙනුම් කරමින් තිබෙන බවද ඔහු පැවසුවේය.

''පසුගිය අවුරුදු සමය තුළ ජනතාව ගැවසුණු ආකාරය භයානක බව පෙනෙන්ට තිබුණා. තවදුරටත් රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් සෞඛ්‍ය අංශ වලට එය දරාගැනීමට නොහැකි තත්ත්වයක් වෙයි. නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතල තත්ත්වයක් ඇති වෙයි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් යළි සංචරණ සීමා පනවමින්,ලොක් ඩවුන් වීමකට වුවද යාමට සිදුවිය හැකියි.

රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් මරණ වැඩි වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා පෞද්ගලිකව තම තමන් ආරක්ෂා වීම දැන් ඉතාම වැදගත්. ආයතනවල වුණත් අපි දැක්කා පහුගිය දවස්වල සෞඛ්‍ය උපදෙස් හරියට අනුගමනය කරන්නේ නැහැ. එම නිසා සෞඛ්‍ය උපදෙස් ගැන දැඩි අවධානයක් යොමුකරන්න.''

එමෙන්ම එන්නත්කරණයට අදාළව දෙවන මාත්‍රාවැඩ කඩිනමින් ලබා දිය යුත් අතර එන්නත් අතර කාල පරතරය ඉක්මවා ගියහොත් එහි ඵලදායීතාවයට ප්‍රශ්නයක් ඇති වනු ඇති බවද වෛඉදය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන ලදී.