who-tedros

ලොව පුරා ව්‍යාප්තව පවතින ගෝලීය COVID-19 වසංගත තත්වය ඉදිරි මාස කිහිපය තුළදී සාර්ථක ලෙස මැඩපැවැත්වීමට ලෝකයාට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අද්නොමි ග්‍රෙබ්යීසස් පවසයි. පසුගිය සඳුදා දිනයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.  විශේෂයෙන්ම වෛරසය පරාජයට පත්කිරීම සදහා අත්‍යවශ වන සම්පත් සාධාරණව සහ ඉක්මනින්ම බෙදීයාම මේ සදහා මූලික වන බවද ඔහු අවධාරණය කර ඇත.


"අපිට මේ සම්පත් යොදාගෙන COVID-19 වසංගතය ඉදිරි මාස කිහිපයේදී පාලනය කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒ සම්පත් සාධාරණව සහ එක සමානව යොදවන්න අවශයි.”ටෙඩ්‍රෝස් එලෙස පවසා තිබේ.කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා අවුරුදු 25ත් 50ත් අතර වයස් පසුවන්නන් තුළ ඉතාමත් ශීඝ්‍රයෙන් මෙම COVID-10 වසංගත තත්වය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇතැයිද ඔහු මෙහිදී සදහන් කර තිබේ. විශේෂයෙන්ම අලුතින් බිහිවන වෛරසයේ නව ප්‍රභේද මේ සඳහා හේතු වන බව ඔහුගේ අදහසයි. "ලොව පුරා වසංගත ආසාදිතයන් මිලියනයක් බවට පත්වෙන්න මාස නවයක් ගත වුණා. 

මිලියන දෙකක්.වෙන්න මාස හතරක් ගත වුණා. දැන් මිලියන 3ක් වෙන්න ගත වෙලා තිබෙන් මාස තුනක් විතරයි.”මෙම මාධ්‍ය හමුව වෙත සජීවීව අන්තර්ජාලය හරහා සහභාගි වී ඇති ස්වීඩනයේ දේශගුණික විපර්යාසවලට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග්, අදවනවිට ලොව තුළ ක්‍රියාත්මක 'එන්නත් ජාතිකවාදය' හේතුවෙන් දියුණු වෙමින් පවතින රටවලට දැඩි හානි සිදුව තිබෙන බව පෙන්වා දී ඇත. ඒ අනුව අද වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත ලබාදිය යුතු අවදානම් සහිත පිරිසක් සිටිදී ලොව පොහොසත් රටවල් සිය තරුණ ප්‍රජාව වෙත මෙම COVID-19 මර්දන එන්නත් ලබාදීමට ප්‍රමුඛතාව ලබාදීම සදාචාර සම්පන්න නොමැති බවද ඇය පවසා ඇත. "මේ වෙද්දි ලෝකයේ ඉහළ ආදායම් ලබන රටවල වෙසෙන පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මේ එන්නත ලැබිලා. හැබැයි දුප්පත් රටවල 500දෙනෙකුටත් වඩා වැඩි පිරිසකගෙන් එක් අයෙකුට පමණයි එන්නත ලැබී තිබෙන්නේ.” යනුවෙන්ද ඇය මෙහිදී පවසා ඇත.