දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැතිව නිවෙස්වල රඳවා සිටින බව දඹුල්ල නගරාන්ධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.   දඹුල්ලෙ කොරෝනා රෝගීහු 37ක් ගිලන් රථ නැතිව නිවෙස්වල දඹුල්ල හීන්මොරගොල්ල, දඹුලුගම, නව පාදෙණිය ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදනකුද දින දෙකක් පමණ තිස්සේ ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට නොහැකිවී ඇති බව නගරාධිපතිවරයා සඳහන් කළේය. දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරිම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්වය උදා වී ඇති බවයි.  නිවෙස්වල සිටින එම පුද්ගලයන් දඹුල්ල සතිපොළ භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් බස් රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.


දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා කියා සිටියේ තම බල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු වයිරසය ශරිරගත වී නිවෙස්වල සිටින බවය. ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා එම ස්ථානවලින් පහසුකම් ලැබීම පිළිබඳවද ප්‍රශ්නයක් තිබෙන බව හෙතෙම කීවේ.  දඹුල්ල ප්‍රදේශයේ ජනතාව තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මායිම් නොකොට ඉතා අනාරක්ෂිතව හැසිරිම නිසා ප්‍රදේශයේ තත්ත්වය බරපතළ වී ඇති බවද දඹුල්ල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.


 දඹුල්ල කාංවන කුමාර