GMOA-agian-warns

කොවිඩ්-19 තත්වය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බවත් මෙසේ අදාළ තීන්දු ගැනීමට තවදුරටත් ප්‍රමාද වීම යනු ඉදිරියේදී රටම වසාදැමීමට ලොක්ඩවුන් කිරීමට වුවද සිදුවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. දිගින් දිගටම කෝවිඩ් 19 රෝගීන් වාර්තා වන නිසා කඩිනමින් පළාත් අතර සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවත්, මීට අමතරව කෝවිඩ්-19 රෝගීන් වාර්තා වන මොහොතේදීම අදාළ ප්‍රදේශ හුදෙකලා තත්වයට පත් කළ යුතු බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය.



රෝගීන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීමේදී දිනක් දෙකක් ගත වන බවත්, මේ නිසා රෝගීන් වාර්තා වන ප්‍රදේශ ඒ මොහොතේදීම වසා දැමීමට තීන්දු තීරණගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝවිඩ්-19 තත්වය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළයුතු බවත්, ජනතාවත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යායුතු බවත් හෙතෙම පැවසීය. මීට අමතරව විනෝද චාරිකා ඇතුළු ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් හා අනවශ්‍ය උත්සව නවතා දැමීමට බලධාරීන් තීන්දු තීරණගත යුතු බවත්, එහෙත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුකර නොමැති බවත් නවීන් ද සොයිසා මහතා පවසා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශය තම වගකීම නිසි ලෙස ඉටු නොකරන බවත් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් බිමන් යාමට වැඩපිළිවෙළක් සකස් කරන බවට මීට පෙර සඳහන් කළත්, මෙතෙක්ම එවැනි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, ම

ේ නිසා පොදු ප්‍රවාහන සේවයේදී ජනතාවට තෙරපී ගමන් බිමන් යාමට සිදුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.සමහර පිරිස්වලට හා සමහර ආයතනවලට මීටරේ දුර අමතක වී තිබෙන බවත්, මීට අමතරව මුහුණු ආවරණ පැලදීම, දැත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු පවා අමතක වී තිබෙන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. බලධාරීන් තීන්දු තීරණ නිසි අවස්ථාවේ ගෙන නිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළහොත් සහ ජනතාව තම වගකීම නිසි ලෙස ඉටු කළහොත් ඉදිරියේදී රට වසා තැබීමෙන් වළක්වාගත හැකි බවත්, මේ වනට කෝවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමට අමතරව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණයත් වැඩී ඇති බවත් හෙතෙම පැවසීය.
 (ඉන්දික හේවාවිතාරණ)