covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


දිවුලපිටිය

දිවුලපිටිය බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකකින් කොරෝනා ආසාදිතයින් 100 දෙනකු හමු වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවසීය.
  අස්වන්නවත්තෙන් රෝගීන් 28ක්, මැල්ලවගෙදර ප්‍රදේශයෙන් 44 ක් හමු වූ අතර  එම රෝගීන් අතර මාස නවයක ළදරුවකු සිටින බවද කුලතිලක මහතා කීය. ප්‍රදේශයේ පවුල් 26ක් නිරෝධායනයට ලක්කළ බවද පැවසූ කුලතිලක මහතා රෝගීන් 18ක් වතුපිටිවල රෝහලට යොමු කළ බවද සඳහන් කළේය.

පොල්පිතිගම

පොල්පිතිගම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලප්‍රදේශයේ පන්සියගම ප්‍රදේශයේ පවුල් 22කට අයත් 57 දෙනකු නිරෝධායනයට යොමු කළ බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා පැවසීය.  එලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ පන්සියගම, ගලටබැඳිවැව පදිංචි 68 හැවිරිදි  කොවිඩ් ආසාදිතයකුගේ සමීපතමයින් සහ මඩහපොල අඹගහලන්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයින් 12 දෙනෙකි.

වත්තල

 මේ අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කොට්ඨාසයෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් තවත් 22 ක් හමුවූ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි යූ. ඇසෙන්ටා මහත්මිය කීවාය.  එම ආසාදිතයන්ගෙන් 17 දෙනකුම නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අය බවද වෛද්‍ය නිලධාරිනිය කීවාය.  ආසාදිතයින් අතර හැඳල ප්‍රදේශයේ කාන්තා  විදුහලක සිසුවියක සිටින බවද ඇය කීවාය. එම සිසුවිය ද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක  නිරතව ඇති අතර ඇය සමග සංගීත වැඩසටහනක පුහුණුවට සහභාගි වූ සිසුවියන්  පිරිසක්ද නිවෙස්වල නිරෝධායනයට ලක්කර සිටින බවද වෛද්‍ය නිලධාරිනිය පැවසුවාය.   

මහර

මහර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් 44 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනා ගත් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි. මාවතගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන්ද ඊයේ කොරෝනා රෝගීන් තවත් 4 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මැටිබොක්ක, ඉඟුරුවත්ත, මාවතගම සහ මාගොල්ලවත්ත යන ගම්මානවලින් එම රෝගීන් හමුවූ බවද සංකල්ප මහතා කීය.

ගාල්ල

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක 13 වසරේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වූ අතර එම පන්තිය වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි එම සිසුවියගේ නිවසට කොළඹ සිට පැමිණි ඥාතියකුගෙන් ඇයට එම වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන බවද සෞඛ්‍ය අංශ කියයි.  සිසුවියගේ පාසලේ ආශ්‍රිතයන්ගේ නිවාස නිරෝධායනයට ලක්කර ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.

මහනුවර

 මහනුවර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 10 දෙනකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ සිසුවියකගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුර වූ හෙයින් එම සිසුවිය ඉගෙනුම ලබන පන්තිය වසාදැමූ බවද පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා කීය.



ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බව  නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා හරස්ගල විදුහලේ සිසුන් කීප දෙනකුට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පාසල වසා දමා ඇති අතර ත්‍රිකුණාමලය අභයපුර විදුහලේ විදුහල්පතිවරයාට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම විදුහල ද වසා දමා ඇත.

චීනවරාය දෙමළ විදුහලේ  නියෝජ්‍ය විදුහල්පතිට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම එම විදුහලද වසා දැමූ බව පළාත් ලේකම්වරයා කීය.

 මීගමුව

 මීගමුව නගරය තුළ වෙළඳ ආයතන දෙකක සිදුකළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් පහළොස් දෙනකු හඳුනා ගැනීමත් සමග මීගමු නගර මධ්‍යයේ වෙළඳ  ආයතනවලින් අහඹු ලෙස තෝරාගත් සේවක  සේවිකාවන් අනුපස් දෙනකුගේ පි.සී.ආර් පරික්ෂණ පෙරේදා 21 සිදුකළ බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඒ.යු. කේ. ගුණරත්න සහ මහජන සෞඛ්‍ය පරික්ෂක මංජුල සම්පත් කාරියවසම් යන මහත්වරු පැවසූහ.

හලාවත

පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා ඇති බවද වාර්තා විය.
කොවිඩ් ආසාදිතයෙකු ලෙස එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති අතර රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතියි.

ඉංගිරිය

ඉංගිරිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට ඊයේ (22) වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වීමත් සමගම එම බැංකුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය. ආරක්ෂක නිලධාරියාට ඉකුත් විසිවැනිදා උණ  රෝගී තත්වයක් හට ගැනීමෙන් අනතුරුව ඒ බව කළමනාකරුට දැනුම් දී ඇත. පසුව පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර ඊයේ ලද වාර්තාවෙන් ඔහුට වයිරසය ආසාදිත බව අනාවරණය වී ඇත.
බැංකු ශාඛාවේ කළමනාකාරිණිය ඇතුළු කාර්ය  මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කිරිමට  පියවර ගන්නා බවත් ඔවුන් ද ඉදිරි දිනකදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරිමට කටයුතු කරන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකයා පැවසීය.

--------
කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවිමත් සමග ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කිරීමට පියවර ගත් අතර අද  (23)උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ නිලාවිය ග්‍රාම සේවා වසම හා වැල්ලව නිකදළුපොත ග්‍රාම සේවා වසමද හුදෙකලා කර ඇත.