coconut-oil-bottle

වෙළඳපොලේ පොල්තෙල් බෝතලයක පැවැති සිල්ලර මිල රුපියල් 60 සිට 100 දක්වා ගණනකින් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල මීට මාසයකට පමණ පෙර රුපියල් 360 ත් 370 ත් අතර මිලකට පැවැති අතර, සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 420 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉදිරි දින කීපයේ දී තව දුරටත් මිල ඉහළ යනු ඇතැයි ද වෙළෙන්දෝ පවසති.



වෙළෙඳපොළේ සුදු පොල්තෙල් බෝතලයක් රුපියල් 440 දක්වා ද, සුපිරි පොල්තෙල් බෝතලයක් රුපියල් 460 ත් 480 ත් දක්වා ද, ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ සඳහන් කරති. "ඇෆ්ලටොක්සීන්" නමැති පිළිකා කාරකය අඩංගු ආනයනික පොල්තෙල් සොයාගැනීමත් සමග ආනයනික පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම අඩු වීමෙන් සැපයුම අඩු වීම මෙම මිල ඉහළ යෑමට හේතුවී ඇති බව පොල්තෙල් තොග වෙළෙන්දෝ පවසති. පොල්තෙල් මිල ඉහළ යෑම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ රාජ්‍ය වෙළෙඳ ආයතනවලින් පැවැති මිලට පොල්තෙල් මිල දී ගත හැකි බවයි. සතොස, බී.සී.සී., පශු සම්පත් මණ්ඩලය සහ දූනගහ සමුපකාර සමිතිවලින් පෙර පැවැති මිලටම පොල්තෙල් මිල දී ගතහැකි බවත් නාරාහේන්පිට 'රජවාසල' තුළ එම ආයතනවල ශාඛාවලින් පැරැණි මිලටම පොල්තෙල් මිල දී ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

 (යොහාන් භාසුර)