caroline-jury-pushpika

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉරිදා සන්ධ්‍යාවේ පැවති විවාහක රූ රැජින අවසන් තරගයේදී ජයග්‍රාහී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනියාට පැවරීමට කටයුතු කළ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දරන කැරොලයින් ජූරි මේ වනවිට අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.


මූලික වටයේ විනිසුරුවරියක හා සංවිධායිකාවක ලෙස මෙම තරගය පැවැත්වීමටද සම්බන්ධවූ කැරොලයින් තරග වට විනිශ්චය පිණිස පිරිස තෝරාගත් තැනැත්තියද වූ නමුත් ඇය අවසන් වටවලදී ලකුණු දීම්වලට සම්බන්ධවී නැත. එම ලකුණුදීම් කර ඇත්තේ ඇය නම් කළ ස්වාධීන විනිශ්චය මණ්ඩලයයි. නමුත් අවසන් විනිශ්චය ඇයට අදහන්නට බැරිව ගොස් ඇත.


කට්ටිය ගිය පසු කැරොලයින් ගේමට චූලා උදව්වට

ලැබී ඇති දත්ත අනුව පෙනී යන්නේ පුෂ්පිකා අවසන් අය අතරට පැමිණෙනු ඇති නමුත් ජයග්‍රාහිකාව වනු ඇතැයි කැරොලයින් කල්පණා නොකළ බවකි.
පුෂ්පිකාගේ ජයගැනීම කැරොලයින් අපේක්ෂා කළ එකක් වී නොමැති තැන ඇතිවූ ආවේගය නොකැමැත්ත හා ඉරිසියාව මුල්කරගෙන මෙම සිද්ධිදාමය සිදුව ඇති බවත් ඊට උළෙලේ තවත් සංවිධායිකාවක වූ චූලා පද්මේන්ද්‍රද සහය දී ඇති බවත් කියැවේ. (පුෂ්පිකාට ඇඟිලි පෙන්වා සැර කරන්නේ චූලායි)
මෙම කිරුළ ගැලවීම සිදුව ඇත්තේ ජයග්‍රාහිකාවන් නම් කර මිනිත්තු 15  ක් පමණ ගතවීමෙන් පසුය. ඒ වනවිට ප්‍රධාන ආරාධිත ශිරන්ති රාජපක්ෂ මැතිණිය , රෝසි සේනානායක මහත්මිය ආදීන්ද සභාවෙන් පිටව ගොස් අවසන්ය.
පුෂ්පිකා ජයගැනීම ගැන විරෝධය පළකරන කිසියම් පුද්ගලයෙකු එම අවස්ථාවේ
සභාව අමතන්නට මයික්‍රෆොනය පාවිච්චියටගන්නා අතර ඔහු ඇය විවාහයෙන් දික්කසාදවී ඇති නිසා කිරුළ ඇයට හිමි නැති බවට තර්ක කරන්නේය.
මේ අතරවාරයේ කැරොලයින් ජූරි උත්සවය නිමාවී පිටව යන සභාව අමතමින් ඇයගේ දික්කසාදය නිසා කිරුළ ඇගෙන් ඉවත් කර දෙවැනියාට පවරන බව නිවේදනය කර ඇය අතින්ම බලහත්කාරයෙන් මෙන් කිරුළ ගලවන්නට පටන් ගනී. කිරුළ පහසුවෙන් ගැලවී නොයන අවස්ථාවේ ඒ සඳහා චූලා පද්මේන්ද්‍ර සහායට පැමිණ පුෂ්පිකාටද බැණ වැදී කිරුළ ගළවා දමන අතර දෙවැනියට එය පළඳවද්දී කතාබහක් නැතිවම පුෂ්පිකා වේගයෙන් ඉවතට ඇදී ගියාය.
මෙම අවස්ථාවේ වීරවරියක සේ සිනාවක් පාන කැරොලයින් තමා සාධාරණය ඉටු කළා වැනි හැඟීමක් දක්වමින් ඡායාරූපවලටද පෙනී සිටී.


රෝසි ඇමරිකාවට ලියලා

කෙසේ වෙතත් විණිශ්චය මණ්ඩලයේ බහුතර කැමැත්තකින් තොරව සිදුවූ සිද්ධිදාමයට විනිශ්චය මන්ඩලයේ කිසිවෙකු හෝ සංවිධායක මඩුල්ලේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් විරෝධය පාන ආකාරයක් පෙන්නුම් නොකරයි.
කිරුළ වෙනස්කිරීම ඉවසාගෙන පුෂ්පිකා පිටව යන අතරම අලුතින් කිරුළ ලබාගත් තැනැත්තියද එය රැගෙන පිටව යයි.



රෝසි සේනානායක මහත්මිය පවසන්නේ තමා මේ ගැන දැනගත්තේ උත්සව සභාවෙන් පිටත්වූ පසු සමාජ මාධ්‍ය තුළින් බවයි. දික්කසාද නඩුවක් පැවතීම මෙම කිරුළට නොසුදුසුකමක් නොවන බවද ඇය කියයි.ඇය ඒ ගැන සොයා බලා ඇති අතර මෙවැනි දෙයක් සිද්ධවීම නොවිය යුතු බවත් කැරොලයින්ගේ හැසිරීම ඉතාපහත් මට්ටමක පැවති බවත් රෝසි මහත්මිය දන්වා සිටියි.
මේ අතර මීට පෙර ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගෙනා රෝසි සේනානායක මහත්මිය ඇමරිකාවේ පිහිටි අදාළ ආයතනය වෙත ලිපියක් යොමු කරමින් කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව ගැන සොයා බලන ලෙසත් ඇය ඇති කළ අපකීර්තිය මත ඇයට ලෝක විවාහක කිරුළ තවදුරටත් දැරිය හැකිද යන්න විමර්ශනය කරන ලෙසත් ඉල්ලා ඇත.

පොලිසියට හොයාගන්න බෑ

සිද්ධියෙන් පසු පුෂ්පිකා අර්බුදය සම්බන්ධයෙන්  කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණි.
එහි වගඋත්තරකාරිනියකවූ කැරොලයින් ජූරි වෙත පොලිසිය අමතන්නට උත්සාහ කර ඇත්තේ මේ ගැන කට උත්තරයක් ලබාදීමට පැමිණෙන ලෙස ඉල්ලන්නටය.
නමුත් කැරොලයින් ජූරි කිසිදු ඇමතුමකින් සම්බන්ධ කරගන්නට බැරිව ගොස් ඇති අතර ඇය නිවසේද නැති බව පසුව අනාවරණයවී ඇත. පොලිසිය පවසන්නේ ඇය අතුරුදන් ලෙස සලකා සොයා බැලීම් සිදු කරන බවයි.
 රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද අවස්ථා කිහිපයකදී කැරොලයින් ඇමතීමට උත්සාහ කළත් ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව දන්වා ඇත. නමුත් කැරොලයින්ගේ සැමියාව පමණක් සම්බන්ධ කරගෙන ඇත. ඔහු බිරිය සිටින තැන දන්නේ නැතැයි පවසා ඇත.චන්දිමාල් පවසන්නේ කැරොලයින්ගේ හැසිරීම සැමියා විසින්ද හෙළාදකින ලද බවයි.

නීති උපදෙස් මත පුෂ්පිකාට රෝහල් ප්‍රතිකාර

මේ අතර කැරොලයින් බලහත්කාරයෙන් කිරුළ ගළවද්දී  කිරුළේ කටු හිස් කබලේ ඇනී තුවාල සිදුවූ බව දක්වමින්  පුෂ්පිකාද සිල්වා රොහලට ගොස් සීරීම් සඳහා ප්‍රතිකාර ලබාගත් බවක්ද වාර්තා විය. (මෙය හුදෙක් නීති උපදෙස් මත පොලිස් පැමිණිල්ල සඳහා බරක් තැබීමේ උවමනාවෙන් සිදුකරන ලද්දක් විය හැකිය)

පුෂ්පිකාගේ සැමියා තිලංක - මාව මේවට ගාවගන්න එපාලු

මේ අතර දික්කසාද ප්‍රශ්නය ඇදී ඒම නිසා පුෂ්පිකාගේ සැමියා වන තිලංක දාබරේරා මහතා ගැනද සමාජ මාධ්‍ය අවධානය යොමුවූ අතර ඔහු කියා සිටියේ තමා පුෂ්පිකාගෙන් ඉවත්වූයේ වසර 04 කට පෙර බවයි.නමුත් තවම දික්කසාද නඩුව අහවර නැති බව ඔහු පවසා ඇති අතර ඇයගේ ප්‍රශ්නයට තමාව ඈඳා නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි. ඇයට රූපරාජිණී පදවිය නොව ජනාධිපතිනි පදවිය ලැබුණත් තමාට කම් නැති බව ඔහු දන්වා ඇත.

චන්දිමාල් පුෂ්පිකාට සාධාරණේ කරනවලු

 පුෂ්පිකා ද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයකදී චන්දිමාල් පවසන්නේ අවසන් මොහොත දක්වා පුෂ්පිකාගේ සුදුසුකම නැති කතාවක් කැරොලයින් නොකී බවයි. තමාට ඇති ගෞරවයට අභියෝග කරමින් පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් මෙම පෙරළිය සිදු කරන්නට කැරොලයින් පෙළඹෙන්නට ඇතැයි ඔහු එහිදී පවසයි.
තමා පුෂ්පිකාගේ පැත්ත ගන්නා බවද චන්දිමාල් ඇමතුමේදී කියයි.

මේ අතර අඟහරුවාදා දිනයේ මෙම විවාහක රූ රැජිණ තරගය සංවිධානය කළ කන්ඩායම හා විනිසුරු මඩුල්ල එක්වී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට සූදානම් කර ඇති අතර එම අවස්ථාවට කිරුළ අහිමිව ගිය පුෂ්පිකාටද ආරාධනය කර ඇත. මෙම අවස්ථාවේදී ඇයට යළි කිරුළ පිරිනමන්නටද කටයුතු සිදුවනු ඇතැයි වාර්තාවේ.