caroline-jury-pushpika-de-silva-mrs-world

මිසිස් ශ්‍රී ලංකා අවසන් තරගයේ කිරුළු මාරු හුටපටය දැන් ජාත්‍යන්තරය වෙතද ගොස් තිබෙන අතර ජාත්‍යන්තර තරගය  සංවිධානය කරන ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි Mrs World Inc. සමාගම ඊයේ දිනයේදීම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් යොමු කර තිබේ.  එහිදී කැරොලින් ජූරිගේ හැසිරීම ගැන ඔවුන් මවිතය පළ කර ඇති අතර ඇය ලංකාවේ තරගය පවත්වන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් දන්වා ඇත. ඒ සමගම කැරොලින්ගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් ඉල්ලා ගෙන තම ආයතනය වෙත යොමු කරන ලෙස ලංකාවේ සංවිධායක ලෙස කටයුතු කරන චන්දිමාල් ජයසිංහටද දන්වා ඇත.
කෙසේ වෙතත් කරුනු සමාලෝචනය කරන තුරු කැරොලින්ගේ රූප රාජිණී කිරුළ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට ජාත්‍යන්තර ආයතනය ඉක්මන් වී නැත.


Mrs World Inc. සමාගම නැවත මතක් කරමින් දන්වා ඇත්තේ තම ලෝක මට්ටමේ තරගයේදී සෑම තරගකාරියම විවාහවී සිටිය යුතුවීම අත්‍යවශ්‍ය බවයි.
මෙම වසරේ (2021) ලෝක විවාහක රූ රැජිණ තරගය පවත්වන්නට තෝරාගෙන ඇත්තේද ශ්‍රී ලංකාව වන අතර එම තරගය නෙළුම් පොකුණ පරිශ්‍රයෙහි ලබන දෙසැම්බරයේ පවත්වන කටයුතු දැනට සංවිධානය කරමින් පවතී. මෙම තරගය
ලංකාවේ පවත්වන්නට අවස්ථාව උදාවූයේ කැරොලින් ජූරි මින් ඉහත විවාහක ලෝක රූ රැජිණිය බවට පත්වීමෙන් පසු කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වෙතත් කැරොලින්ගේ අසාමාන්‍ය හැසිරීමෙන් පසු ඇය අතුරුදන්වූ නමුත් පසුව වාර්තාවූයේ පොලිසියේ පෙනී සිටීමට ඇය වේලාවක් ඉල්ලාගෙන ඇති බවයි. ඇය අද හෝ හෙට පොලිසියට පැමිණ කටඋත්තර ලබාදෙනු ඇතැයි වාර්තාවේ.

මේ අතර කිරුළේ හිමි අහිමි ගැටලුවට මැදිවූ පුෂ්පිකා ද සිල්වා තරගයට අයදුම් කිරීමේදී තමා විවාහක බවට සහතිකවී අයදුම් පත්‍රයෙහි Marital Status දන්වන ස්ථානයේ Married යයි කරුණු සටහන් කර ඇති බව වාර්තා විය. ඇය 2018 සිට ඇගේ සැමියා වන තිලංක දාබරේරාගෙන් වෙන්ව ජීවත්වන අතර ඔවුන් දෙන්නාගේ දික්කසාද නඩුව දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී. තිලංකට ඇය හා සාමදාන වීමේ උවමනාවක් නොපවතින බව ඊයේ ඇගේ ප්‍රශ්නයෙන් පසු ඔහු දැක්වූ අදහස් වලින් ගම්‍යමාන විය. ඔහු තමා මේවාට ගාවා නොගන්නා ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් බෑගෑපත්ව ඉල්ලා තිබුනේ ඇය ජනාධිපතිනිය වුණත් තමන්ට ගාණක් නැති බව කියමිනි.


දැනට අප වෙත ලැබී ඇති කරුණු අනුව ඔවුන්ගේ අවසන් නඩු විභාගය මෙම 2021 වසරේ ජුනි හෝ ජූලි මාසයේ පවත්වන්නට දින නියම කර ඇත.
එහිදී තිලංක - පුෂ්පිකා දෙදෙනා නීතියෙන් දික්කසාද බව අධිකරණය තහවුරු කළොත් ඇයට ශ්‍රී ලංකා කිරුළ පිළිබඳ ගැටලුවක් පැන නොනගින නමුත් එළැඹෙන දෙසැම්බරයේ කොළඹදී පවත්වන්නට නියමිත මිසිස් වර්ල්ඩ් ජාත්‍යන්තර තරගය සඳහා ඉදිරිපත්වීමේ පූර්ව කොන්දේසියක් සපුරාලීමේ අවස්ථාව නැතිව යයි. එය නම් ඇය විවාහක බවයි.
මිසිස් වර්ල්ඩ් තරග නීති අනුව දික්කසාද ඕනෑතරම් ගණනක් කරගත්තත් ඔවුනට ගැටලුවක් නැති අතර අවශ්‍ය වන්නේ තරගයට ඉදිරිපත්වන තැනැත්තිය ඉදිරිපත්වන අවස්ථාව වනවිට විවාහයක් කරගෙන සිටින තැනැත්තියක වීමය. ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුව ‘විවාහක රූ රැජිණිය‘ විය හැක්කේ එවැනි අයටය.
එබැවින් ලබන ජූනි හෝ ජූලි මාසයේ පුෂ්පිකාට සිය මුල් සැමියාගෙන් දික්කසාදය ලැබුණොත් ඇය දෙසැම්බරයට පෙර තවත් විවාහයක් කරගෙන ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තරගයට ඉදිරිපත්වීමේ අවස්ථාව උදාකරගත යුතුය.
ඇයට දැනටමත් ලැබී ඇති ප්‍රතිචාර අනුව එය අපහසු කරුණක් නොවනු ඇත.
----------------
මේ සමග පළවන්නේ ජාත්‍යන්තර Mrs World Inc. සමාගම සිදුවීම සම්බන්ධයෙන් එවූ ලියමනයි.

caroline-jury-pushpika-de-silva-mrs-world