mahinda-meetings

පළාත් සභා සංශෝධන පනත් සංශෝධනය කිරීමට ඉදිරිපත් කොට ඇති යෝජිත පනතේ ඇතැම් වගන්තිවලට
විරෝධය පළ කරන ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතා අද (19දා) පෙරවරු 10.30ට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
 


මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක්ද  අද (19දා) සවස අගමැති මහින්ද රාජපක්ෂගේ
ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන්  මෙහිදී සාකච්ඡා වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

පළාත් සභා සංශෝධන පනතේ ඇතැම් වගන්තිවලට ඍජුවම විරුද්ධත්වය දක්වා ඇති  පක්ෂ 11 නායකයන් එම
වගන්ති සංශෝධනය නොකරන්නේ නම් පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන බවත් පළාත්
සභා ඡන්දයට එම පක්ෂ වෙන වෙනම තරග කිරීම හෝ ඒකාබද්ධ සන්ධානයකින් තරග කරන බවත්
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබිණි.



රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංශෝධිත
පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරමින් පවසා තිබුණේ ප්‍රතිපත්ති තීරණ
ගැනීම සඳහා කෙටුම්පත් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

ප්‍රතිපත්ති යෝජනාවලිය අනුමත නොකරන්නේ නම් ඒ වෙනුවට පෙර පැවැති සමානුපාතික නියෝජන ක්‍රමය
සහිත 1988 අංක 03 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත නැවත බලගැන්වීම සඳහා නව පනත්
කෙටුම්පතක් පිළියෙල කරන ලෙසද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබේ.

ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 සමානුපාතික ඡන්ද ක්‍රමයට අකැමැත්ත පළකොට තිබේ.
මීට අමතරව එම පක්ෂ දේශපාලන වශයෙන් ඒකාබද්ධව රැස්වීම් පැවැත්වීමටද මේ වනවිට පියවර ගෙන ඇත.