bus avurudu

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් අප්‍රේල් 9 සිට 19දක්වා කාලය විශේෂ අලුත් අවුරුදු  සේවා කාලය වශයෙන් වෙන් කර ඇති බවත්, ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹ සහ ආශ්‍රිත ප්‍රධාන නගරවල සිට විශේෂ දුර ගමන් සේවා බස්  රථ 200ක් යෙදවීමට කටයුතු කර ඇති බවත්  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේල්සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.  එම අලුත් අවුරුදු බස් රථ සේවය කොළඹ දිස්ත්‍රික්කයේ බැස්ටියන්, නාවින්න, පිළියන්දල සහ කඩුවෙල බස්  නැවතුම්පොළවලින් ද  ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, කඩවත, බියගම, නිට්ටඹුව, කටුනායක  නැවැතුම්පොළවලින් ද කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, මතුගම, හොරණ සහ අලුත්ගම නගරවලින් ද ආරම්භ කර ඇති බවත් සභාපතිවරයා පැවැසීය.




බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ 02 කාර්යාලයෙන් බස් රථ 30ක්, කොළඹ 03 කාර්යාලයෙන් බස් රථ 57ක්,  කොළඹ 04 කාර්යාලයෙන් බස් රථ 200ක්, ගහ 01 කාර්යාලයෙන් බස් රථ 100ක්, ගහ 02 කාර්යාලයෙන් බස් රථ 30ක් සහ කළුතර කාර්යාලයෙන් බස් රථ 18ක් වශයෙන් ධාවනයට එක්කර ඇති බවත් මෙම බස් රථ සේවාවේ ගමනාන්තය මාතර, කතරගම,  බදුල්ල, යාපනය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, හම්බන්තොට,  නුවරඑළිය ඇතුළු තවත් ප්‍රධාන නගර දක්වා වන බවත් හෙතෙම පැවැසීය. මගී ජනතාවට වැඩි සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම දුර ගමන් සේවා බස් රථ ලංගම සමග ඒකාබද්ධ ධාවන කාලසටහනක් අනුව ධාවනය කරන බවත් සියලුම බස් රථ නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ධාවනය කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රසන්න සංජීව මහතා පැවැසීය.