බ්‍රිතාන්‍යයේ පැතිරී යන බී 117 විකෘති කොරෝනා වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතීරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.   බ්‍රිතාන්‍යයේ දී මෙම නව වයිරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි එස් ප්‍රොටින හඳුනාගැනීමේ හැකියාව නැතිව ගොස් තිබු බවත් කොළඹ දී කරන ලද පීසීආර් පරික්ෂණවලදී ද එවැනිම තත්වයක් නිරික්ෂණය වූ බවත් ඔහු  කීය.




ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින්නේ අලුත් වයිරස ප්‍රභේදයක්ද නොඑසේ නම් දැනට පවතින වයිරසයේ විකෘතියක්ද යන්න ගැන සොයා බලාගෙන යන බවද ජීවන්දර මහතා සඳහන් කළේය.   සිංහල අවුරුද්දෙන් පසු කොරෝනා රෝගීන්ගේ මෙන්ම එම රෝග ලක්ෂණවල ද වැඩි වීමක් පෙන්නුම් කරන බව පැවසූ හෙතෙම තරුණ පිරිස්වලට ආසාදනය වීම ද වැඩිවන ප්‍රවණතාවක් දක්නට ඇති බව ප්‍රකාශ කළේය.  කොරෝනා ජාන විශේලේෂණ පරික්ෂණ ලබන මස මුලදී අරඹන බව ද ඔහු කීය.


මේ අතර වෙනස් වයිරස් ප්‍රභේද වෙනස් ක්‍රමයකින් හඳුනාගැනීමට ද කටයුතු කරගෙන යන බවත් ඒ සම්බන්ධ පීසීආර් පරීක්ෂණ ලබන අගහරුවාදා ආරම්භ කරන බවත් ජීවන්දර මහතා පැවසීය.  මේ සඳහා අවශ්‍ය පරික්ෂණ කට්ටල අද (23)  මෙරටට ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.


-සුජිත් හේවාජුලිගේ-