වයස අවුරුදු හතර හමාරක දැරියක් යාචක වෘත්තියේ යෙදවීමට දුන්නේයැයි කියන සිද්ධියේ සැකකාර මව්පිය යුවළක් හා එම දැරිය යාචක වෘත්තියේ යෙදවීමට රැගෙන ගිය බව කියන කාන්තාව ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ 28 වැනිදා පස්වරුවේ නියෝග කළාය.  බාදුරාගොඩ ගස්පේ පදිංචි විත්තිකාරින්ගේ මධුමාධව අරවින්ද හා වර්ණකුලසූරිය සඳමාලි ගංගානි යන තරුණ අඹු සැමි යුවළක් හා දෙල්වල කිතලවලාන පදිංචි හේවා ගමගේ රුවන්ති මධුෂානි යන තිදෙනෙක් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ. වයස අවුරුදු හතර හමාරක දැරියක යාචක වෘත්තියේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධව පල්ලෙවෙල පොලිසිය පරික්ෂණ පවත්වා සැකකාරියන් දෙදෙනා හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

එම නඩුව ඊයේ 28 වැනිදා පස්වරුවේ කැඳවූ අවස්ථාවේ පල්ලෙවෙල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් මහින්ද කුමාර (67675) මහතා කරුණු දක්වමින් ලද තොරතුරකට අනුව රුවන්ති මධුෂානි නමැත්තිය සැකකාර අඹු සැමි යුවළගේ වයස අවුරුදු හතර හමාරක දැරියක රැගෙන කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟමන් ඉල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියා සිටියේය. සැකකාර කාන්තාව අඹු සැමි යුවළගෙන් දිනපතා උදෑසන දැරිය ඉල්ලා ගෙන ගොස් හිඟමන් ලබාගැනීමෙන් පසුව සවස කිසියම් මුදලක් ද සමග ආපසු ගෙනවිත් බාරදෙන බව මූලික පරික්ෂණවලදී හෙළි වී ඇති පොලිස් කොස්තාපල්වරයා කීය.මෙහිදී දැරිය රන්මුතුගල ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මව්පිය යුවළ හා අනෙක් සැකකාරිය එසේ රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළාය. නැවත කැඳවීම මැයි 12 වැනිදාට කල් තැබිණ. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස් පරිදි එහි උප පොලිස් පරික්ෂිකා අනුෂා කුමාරි මහත්මිය හා එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් මහින්ද කුමාර (67675) යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවූහ.
 (වාරණ-ආනන්ද ඉ. ජයකොඩි)