astrasenaca-sri-lanka-issue
රජයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ පැවති අසමබර ක්‍රියාකාරීත්වය නිසා නම ලක්ෂ විසිදහසකට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදුන් නමුත් දෙවැනි මාත්‍රාව ලබාදෙන්නට හැකියාව ඇත්තේ තුන් ලක්ෂ හැටදහසකට පමණක් බව පසුගියදා ප්‍රකාශයට පත්විය.  ඒඅනුව එන්නත ගත් පන්ලක්ෂ හැට දහසක් එනම් ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයකට දෙවැනි එන්නත නොලැබෙන තත්වයක් පෙන්නුම් කර තිබේ.

ඉන්දියාවෙන් එන්නත් තොග අපනයනය මේ වනවිට අත්හිටුවා ඇති අතර වෙනත් රටකින්වත් ලංකාවට එන්නත් නොලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇත.
මේ ගැන පසුගිය සතියේ ලලිත් වීරතුංග මහතා පවා කථා කලේ අවිශ්වාසයෙනි. නමුත් මහාචාර්ය චන්න ජයසුමන හැමවිටම මාධ්‍ය ඉදිරියේ පැවසුවේ ඉන්දියාවෙන් ඉතිරි තොග අපි ගෙන්වනවා කියමින් ප්‍රශ්නයක් නැති ගාණටය..



මෙම සංසිද්ධියේ අවාසනාවන්ත තත්වය වන්නේ ඇස්ට්‍රාසෙනාකා පළමු මාත්‍රාව පමණක් ලබාගෙන එන්නත් වැඩසටහනට සම්බන්ධවූ අයට විකල්පයක් නැතිවීමය. ඒ අයට සති 16 ක උපරිමය තුළ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු බව පැවසුනත් තවත් මාසයක් දෙකක් තුළ එම කාලසීමාවද ඉක්මවා යයි. ඒ අයට පසුව හෝ වෙනත් එන්නතක් ලබාදීම මගින් සිරුර තුළ එන්නත් මිශ්‍රණයක් සැකසී අහිතකර තත්වයක් මතුවේද යන්න ගැන සැක සංකා පවතින අතර ඒ ගැන පර්යේෂණ සිදු කර ඇති බවක් විදේශ මාධ්‍ය වලින් අසන්නට නොලැබේ.
කෙසේ වෙතත් වීරතුංග මහතා හා ජයසුමන මහතා නිශ්චිතව දෙවැනි මාත්‍රාව නොලැබෙන බව නොකීවත් අද දිනයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දෙවැනි මාත්‍රාව නියමිත කාලයට ලැබෙන්නේ නැති බවට පැහැදිලි කතාවක් කලේය.

ඔහු අද සඳහන් කළේ ඉන්දියාවෙන් ඇනවුම් කළ එන්නත් තොග කෙටි කලක් තුළදී ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් (එනම් ඇස්ට්‍රාසෙනාකා හා සිනොෆාම් හෝ ඇස්ට්‍රාසෙනාකා හා ස්පුට්නික්) ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවද වෛද්‍යවරයා එහිදී පවසන ලදි.

මෙම එන්නත් නොලැබීමේ 'අලකලංචිය'ට මැදිව ඇත්තේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ හෝ ප්‍රභූන් නොව කොළඹ හා තදාසන්න නගරවල අවදානම් කලාපවල ජීවත්වූ බහුතරයක්වූ 60 ට වැඩි මධ්‍යම පාන්තික වැඩිහිටියන්ය.
ජීවිත ලක්ෂ 6 කට මෙම ගැටලුව බලපාන අතර එවැනි මිශ්‍රණයක් සාර්ථකවීමේ හෝ අසාර්ථකවීමේ වගකීම කවුරුන් භාරගනීද යන්න සැක සහිතය.