new-year-pokura

මේ දිනවල හමුවන කෝවිඩ් රෝගීන් අයත් වන පොකුර "අලුත් අවුරුදු කෝවිඩ් පොකුර' යනුවෙන් නම් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාව ක්‍රියා කර තිබේ.‍ 


මීට පෙර කොරෝනා දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් ආයතනය මුල් කර පැනනැගි නමුත් කිසියම් හේතුවක් මත ඉතාම කෙටි කලකින් බ්‍රැන්ඩික්ස් පොකුර නම ඉවත් කර මිනුවන්ගොඩ පොකුර හා පසුව  ‘පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසල ආශ්‍රිත‘ පොකුර ලෙස එය හැදින්වීමට මේ කියන වාර්තාව කටයුතු කර තිබුනි.
අනතුරුව කොරෝනා දිගින්දිගටම සමාජගතවෙද්දී පොකුරකට අයත් බවට නිශ්චය කරන්නට බැරි තරමට පැතිරෙද්දීත් කාටත් අමතකව ගිය පෑලියගොඩ මත්ස්‍ය පොකුරක් ඉදිරියේ මෙම වාර්තාවේ ආසාදිතයින් ගණන සදහන් කළේ කාටවත් විශ්වාස කරන්නට අපහසු ලෙසිනි.

මෙවර සිංහල අලුත් අවුරුද්දට ආරක්ෂාවීම ගැන රජය අමුතුවෙන් අනතුරු හඟවා නොතිබූ අතර කොරෝනා මැඩපැවැත්වූ බවට උදම් අනමින් ඇමතිනිය අවුරුද්දට දින දෙකතුනකට පෙර විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළාය.එසේම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඇතැම් තැන්වල හා රජයේ අවසරය ඇතිව පුද්ගලික ආයතන අවුරුදු උත්සව පවා සංවිධානය කෙරිණි.
නව වාර්තාව අනුව එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව රජය මගින්ම නම් කරන්නේ එවන් පසුබිමකය.