vip vehicle sri lanka

විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ද්විත්ව කාර්යය වාහන ලෙස ලියාපදිංචි කිරිම නිසා රජයට රුපියල් කෝටි දෙසීයකට වැඩි පාඩුවක් මේ  දක්වා සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. විශේෂ කාර්යයන් සඳහා ආනයනය  කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස ලියාපදිංචි කිරීමෙන් රජයට ආදායම්  අහිමි වීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ උප කමිටුවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පත් කරනු ලැබීය.



එම උප කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කරනු ලැබ සිටින අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ දුමින්ද දිසානායක සහ මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, හරිනි අමරසූරිය සහ විරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන්ය.  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වුණු අතර ශ්‍රී ලංකා රේගුවේ 2017-2018 වර්ෂ සඳහා වූ විගණන වාර්තා හා කාර්ය සාධනය මෙහිදී විමර්ෂනය කෙරිණ.

ශ්‍රී ලංකා රේගුව විශේෂ කාර්යයන් සඳහා වන වාහන හඳුනා ගන්නා අනුකූලතා සංකේත (HS Code) භාවිත කරන ආකාරය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ කාර්යයන් සඳහා වන වාහන හඳුනා ගැනීමේදී දක්නට ලැබෙන නීතිමය වෙනස්කම් පිළිබඳව කමිටුවේ අවධානයට යොමු විය.  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ලියාපදිංචි කිරිමේදී රේගු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනුකූලතා සංකේත  (HS Code) අදාළ කර නොගෙන වෙනත් ස්වරූපයකින් ලියාපදිංචි කිරිම නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන්නේ යැයි කෝපා කමිටුව පවසයි.




2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම ගැටලුව විසඳීමට පත් කළ කමිටුවේ වාර්තාව මගින් මෙවැනි වාහන ආනයනය සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ලබා ගතයුතු බවට ඉදිරිපත් කර ඇති නිර්දේශය පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානය යොමු විය. මෙයට අමතරව මෙම කමිටු වාර්තාව නීතියක් බවට පත් කර ගැනීමේ වැදගත්කම ද අදාල කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පනත් සංශෝධනයේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී කමිටු සභාපතිවරයා රේගු දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන අනුකූලතා සංකේත (HS Code) ඒ ආකාරයටම මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවට අදාළ වාහනය ලියාපදිංචි කිරීම් සඳහා භාවිත කිරීමට  නොහැකි මන්දැයි විමසා සිටියේය.  ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ක්‍රියාත්මක කිරිමට නියමිත පරිගණක සැසඳුම් පද්ධතියේ කටයුතු කඩිනම්  නොවීම පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානය යොමු විය. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන   දෙපාර්තමේන්තුව එක්ව මෙම පද්ධතිය කඩිනමින් ස්ථාපනය කිරීම මගින් බොහෝ අක්‍රමිකතා මගහරවා ගත හැකි වනු ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිලි සලකුණ භාවිත කිරීමේ ක්‍රමවේදය භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ද කෝපා කමිටුව මෙහිදී සිය අවධානය යොමු කළේය. මෙහිදී රේගු නිලධාරින් පෙන්වා දුන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ හැකි අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ නොහැකි අංශ රේගුවේ පවතින බවයි. මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දන්වා සිටියේ එම අංශ වෙන වෙනම කමිටුව වෙත දන්වා එවන ලෙසයි.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, වීරසුමන වීරසිංහ සහ හරීනි අමරසූරිය, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරිහු පිරිසක් ද සහභාගී වූහ.


 -සුජිත් හේවාපුලිගේ -