nishantha-ranatunga-letter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 වසරේ තේරී පත්වූ නිලධාරී මණ්ඩලයේ නිල කාලය අවසන්ව ඇති හෙයින් ඊට වහාම අතුරු කමිටුවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන කොල්ට්ස් ක්‍රීඩා සමාජය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. එම ක්‍රීඩා සමාජයේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග සහ එම ක්‍රීඩා සමාජයේ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේස්කර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනුයේ, 2019 වසරේ පෙබරවාරි මස 21 වැනිදා වසර 02ක ධුර කාලයකට තේරී පත්වූ එම නිලධාරින්ගේ ධුර කාලය මෙම වසරේ පෙබරවාරී මස 20 වැනිදායින් නිමා වී ඇති බවය.

එහෙයින් ක්‍රීඩා අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ 31, 32, 33 සහ 41 යන වගති අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.එමෙන්ම එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 07(2)(b) වගන්තිය අනුව කමිටුවේ ධුර කාලය වසර 02ක් නොඉක්මවිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇති මොහොතක සහ මේ වනවිට ධුර කාලය අවසන්ව ඇති හෙයින් 2019 වසරේ තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට තවදුරටත් අදාළ තනතුරුවල කටයුතු කළ නොහැකි බවයි.
  (පැතුම් ශ්‍රී විජේරත්න)