negombo-incident

මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී 28 වැනිදා සවස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී  මිය ගිය
පුද්ගලයකුගේ මරණය සැක සහිත බව එම මියගිය අයගේ ඥාතීන් මරණ පරීක්ෂණය සිදුවන අවස්ථාවේ හදිසි
මරණ පරීක්ෂක වෛද්‍ය සිරි  ජයන්ත වික්‍රමරත්න මහතා වෙත සාක්ෂි දෙමින් පවසා තිබේ.  
 
මෙලෙස මියගොස් ඇත්තේ අංක 20/5 ශ්‍රී වික්‍රම රාජසිංහ පාර බෝලවලාන පදිංචි වර්ණකුලසූරිය
ඉන්දික දිල්හාන්  ප්‍රනාන්දු  (44) නමැත්තකි.



මියගිය අයට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුගේ බිරිය වන විජේපුරගේ මේරියන් අංජුලා සංජීවනී ප්‍රනාන්දු
 සහ   චන්දික ප්‍රනාන්දු යන  මස්සිනා සමඟ  28 වැනිදා සවස එම පෞද්ගලික රෝහල වෙත ගොස්
ඇත. වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කර හෙදි නිලධාරිනියට රෝගියාහට එන්නතක් ලබා දීමට කියා ඇත.
කෙටි වේලාවකින් පසු රෝගියා තුළ අසාත්මිකතාවක් හටගෙන ඇති  බවත් මොහොතකින් ඔහු මියගිය බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

පසුව වෛද්‍යවරයා පැමිණ හෙදි නිලධාරිනියගෙන් රෝගියාට දුන් එන්නතේ ප්‍රමාණය ගැන විමසූ විට
වෛද්‍යවරයා නියම කළ ප්‍රමාණයට වඩා දෙගුණයක් රෝගීයාහට එන්නත් කර ඇතැයි  හෙදි නිලධාරිනිය
වෛද්‍යවරයාට පැවැසූ බව මියගිය  අයගේ මස්සිනා හදිසි මරණ පරීක්ෂක වෙත සාක්ෂි දෙමින් පවසා
තිබේ. ඒ මොහොතේ වෛද්‍යවරයා සිය අත හිසට තබා ගෙන විස්මය පළ කළ බවද සාක්ෂිවලදී වැඩිදුරටත්
කියා තිබේ.



මේ නිසා එම මරණය සැක සහිත එකක් බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස හදිසි මරණ පරීක්ෂක
වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතාගෙන්   ඥාතීන් ඉල්ලා  ඇත. වෛද්‍යවරයාට සහ හෙදි
නිලධාරිනියට පළමුවැනිදා සවස තම හදිසි මරණ පරීක්ෂණ කාර්යාලය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට
මීගමුව පොලිසිය විසින් දන්වා ඇතත් වෛද්‍යවරයාට සහ හෙදි නිලධාරීනියට පළමුවැනිදා පැමිණීමට නොහැකි
බවත් සති අන්තයේ පැමිණෙන බවත් දන්වා ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

මෙම මරණය පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් කර  වාර්තා කරන ලෙස මරණ පරීක්ෂකවරයා මීගමු
පොලිසියට නියම කර තිබේ.

ඉන්පසු එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මීගමුව  පොලිසිය සාක්ෂි
මෙහෙයවීය.


මීගමුව - නිමන්ති ප්‍රනාන්දු