mythology-arrested

දේව බලයෙන් හා වෙනත් අදෘෂ්‍යමාන බලවේගයන් තමාට ඇති බව කියමින් රෝගීන් ශාරිරික හිංසා හා පීඩාවලට ලක්කර  ලෙඩ රෝග සුව කිරීමේ ස්ථාන පවත්වාගෙන යන අය ගැන තොරතුරු සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (01) පැවසීය.  

දිවයින පුරා මෙවැනි ස්ථාන පවත්වාගෙන යන අය ගැන තොරතුරු ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙවැනි අය ගැන තොරතුරු එක්රැස්කර ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පිවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි. 

ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා  කීය.   දේව වරම් හා අදෘෂ්‍යමාන බලයක් ඇතැයි කියාගන්නා අයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අය ගණනාවක් පසුගිය කාලය තුල වරින්වර මිය ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

සීදුව බණ්ඩාරවත්තේ පදිංචිව සිටි එච්. එන්. ලයනල් ප්‍රනාන්දු (60) සහ ඔහුගේ දියණියක් වූ තුෂාරි සංජීවා (27) නමැත්තිය 2015 වසරේද, එම වසරේම ගල්නෑව උස්ගල පදිංචිව සිටි උදේනි ප්‍රියන්ති කුමාරි (33), නිකවැරටිය මුලස්ථාන පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් සුනිල් හේරත් 2016 වසරේද, එම වසරේම අනුරාධපුරය ඇලයාපත්තුව ගම්මානයේ පදිංචිව සිටි දිනුෂිකා කුමාරි චන්ද්‍රරත්න (36), හලාවත ඉලිප්පදෙණියේ පදිංචිව සිටි රූපලාවන්‍ය ශිල්පියක වූ ඉෂාරා උමයංගනී (30), 2017 වසරේ සහ රත්තොට පොල්වත්ත මැටිවත්ත ගම්මානයේ පදිංචිව සිටි චාන්දනී සෙනවිරත්න (38) නමැත්තිය 2018 වසරේද අද්භූත බලවේගවලින් ප්‍රතිකාර ලැබීමට ගොස් රෝගාතුරව මිය ගිය අය අතරින් කිහිප දෙනකු බව පොලිස් මූලස්ථානය කියයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න  ජයසූරිය-