anura-manatunga-hiriwadunna

බුදුරජාණන් වහන්සේ මෙරට බුදු වූ බවට පතුරුවා ගෙන යන මිථ්‍යාව මින් ඉදිරියට රටතුළ පැතිර වීමට කිසිසේත් ඉඩ නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඊයේ (01) පැවසීය. වසර ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇති හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ බෝධීන් වහන්සේ සහ පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර  මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැරදි මතය බොහෝ දෙනකු මිත්‍යව නොපිළිගන්නා බවය. 




 මෙම මිත්‍යා මතය  පැතිරවීමට ඒකායන අරමුණ  බවට පත්ව ඇත්තේ බුදු දහමට හානි කිරීම බවද මනතුංග මහතා පෙන්වා දුන්නේය. බුදුන් වහන්සේ බුද්ධත්වයට  පත් වූයේ හබරණ හිරිවඩුන්න මෙම බෝධීන් වහන්සේ අසල බව බොහෝ  කණ්ඩායමක් මතයක් පතුරවමින් ගිය බවද එම  ස්ථානයේ තිබුණු මල් ආසනය බුදුරජාණන්  වහන්සේ බුද්ධත්වයට පත් වූ වජ්‍රාසනය බවට ඇතැමුන්  සඳහන් කරන බවත් එම නිසා එම මල් ආසනය කැණීම්  කටයුතු වලින් එළියට  ලබාගෙන එය ජනතාවට පෙන්වා නැවතත් තිබූ  විදියටම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.


පසුව පුරාවිද්‍යා නිලධාරීන් මෙම එම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝයා වහන්සේලා සහ දායක සභාව ඉදිරියේ පුරාවිද්‍යා කැණීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම මෙම පුරාවිද්‍යා භූමියේ ඇති විවිධ ස්ථාන  නිරීක්ෂණයට ලක් කිරීම ද පුරාවිද්‍යා නිලධාරීන් විසින්  සිදු කෙරිණි.


මෙම අවස්ථාවේදී අදහස්  දැක්වු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා කියා සිටියේ තමන් මෙම  ස්ථානයට පැමිණියේ මෙහි ඇති මිත්‍යා අදහස තවදුරටත් පැතිරවීම වළකා දැමීම සඳහා බවය. මෙම ස්ථානයේ ඇති  වජිරාසනය නමින් හඳුන්වන ස්ථානය ගලින් නිමවන ලද  මල් ආසනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය. හිරිවඩුන්න ස්ථානය කිසිදු ආකාරයකින් බුදුරජාණන්  වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයක් නොවන බව නිල වශයෙන් ජනතාවට දැනුම් දෙන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.


 -කාංචන කුමාර ආරියදාස-