migara-gunaratne-incident

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීම සහ පොලිස් නිලධාරිගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධීන්ට අදාළ පරික්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත් කර විශේෂ පොලිස් කණ්ඩායමකට භාර දෙන ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (01) පොලිස්පතිවරයාට නියෝග කළේය. එම විශේෂ පොලිස් කණ්ඩායම  මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කර සති දෙකක් ඇතුළත අධිකරණයට වාර්තා කරන ලෙස ද  මෙහි දී මහේස්ත්‍රාත්වරයා එම නියෝගයෙන් සඳහන් කළේය. 




පොලිස් නිලධාරිගේ රාජකාරියට බාධා කළැයි කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (01) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණ.  පැමිණිල්ල වෙනුවෙන් පෑලියගොඩ පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් නිලධාරින් ඇතුළු කණ්ඩායමක්, නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සහ වැඩ තහනමට ලක්ව සිටින පෑලියගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා  මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ  ටිරන්ත වලලියැද්ද මහතා ඇතුළු  නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.


පෑලියගොඩ පොලිසිය:

ස්වාමිනී, හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන්  පොලිසියට ලද තොරතුරක් මත ඉකුත් පෙබරවාරි මස 23 වැනිදා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තා හෙරොයින් ග්‍රෑම් 25ක් ද සමග. එම විමර්ශනය සිදුකළේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක්.   නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු ඒ අයුරින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් යුවළක් වශයෙන් ජීවත් වුවත් ඔවුන් දෙදෙනාගේ මෙම හොරොයින් ජාවාරමට අන්තර්ජාලය මගින් විදේශිකයන් කිහිපදෙනකුත් හවුල් වෙලා ඇති බවට විමර්ශකයන්ට  තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියේ රඳවාගෙන සිටියා. ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරිම, ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීම පිළිබඳව තොරතුරු රාශියක් මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවුණා. ඉකුත් 25 වැනිදා රාත්‍රියේ පොලිසියේ රාජකාරියේ යෙදී සිටියේ උප පොලිස් පරික්ෂක බන්දුල නමැති නිලධාරියා. එදින රාත්‍රී 8.30ට පමණ පුද්ගලයකු පැමිණියා නොච්චියාගම  ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය බැලීම සඳහා. රැඳවුම් මත රඳවා තබාගෙන සිටි මෙම සැකකාරියට ඇමතුමක් ලබා ගැනීම සඳහා අදාළ තැනැත්තා විසින්  ඔහුගේ ජංගම දුරකතනය දුන්නා. ඒ අවස්ථාවේදී උප පොලිස් පරික්ෂක බන්දුල මහතා එසේ නොකරන ලෙසත් වහාම ජංගම දුරකතනය නැවත ලබා ගන්නා  ලෙසත් අදාළ තැනැත්තාට පවසා තිබුණා. ඒ අවස්ථාවේදී බහින්බස් වීමක් සිදුවෙද්දී ප්‍රධාන පොලිස්  පරික්ෂක ලින්ටන් ද සිල්වා මහතා ද එම ස්ථානයට පැමිණ තිබුණා.



එහිදී ඇති වූ සිද්ධියෙන් අදාළ පුද්ගලයාගේ මුහුණ පාලන අංශයේ දොරක වැදී කුඩා තැලීම් සහිත තුවාලයක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර රාගම රෝහල වෙත ඇතුළත් කළා. රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව ලැබී තිබෙනවා. එය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙම තැනැත්තාගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවිය යුතුව ඇති අතර එම ජංගම දුරකතනයෙන් ලබාගත් දුරකතන  ඇමතුම් සම්බන්ධයෙන් දුරකතන සමාගම් පහකින් දත්ත වාර්තා ලබා ගත යුතුව තිබෙනවා.

මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා -  ඉකුත් දිනයේදී නඩුව  අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මගේ සේවාදායකයා සැකකරුවකු ලෙසට නම් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට මහේස්ත්‍රාත්වරිය තීරණය කළා.  අද දින පොලිසිය ගොඩාක් කතා කිව්වා. අපි දශක තුනක පමණ කාලයක සිට පොලිසියේ මේ වගේ කතා අහගෙන හිටියා. කණුවලට දොරවල වැදිලා කියලා කියනවා.  මේක බරපතළ තත්ත්වයක්. මගේ සේවාදායකයා නීති ශිෂ්‍යයෙක්. මේ  පරික්ෂණය සී අයි ඩී එකෙන් කරනවා කියලා කිව්වත් ඒක තාම  වෙලා නැහැ. මේකට වගකිව යුතු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න ඕන. පොලිසියෙන් කළ වධ හිංසාවන් දැන් වහන්න සුදානම් වෙන්නේ.

පොලිසිය කියන ඒවා අපි ප්‍රතික්ෂේප කරනවා. පෑලියගොඩදී මේක වුණ නිසා ඒ අය කරන විමර්ශන හරියන්නේ නැහැ. මගේ සේවාදායකයාගේ ජංගම දුරකතනය රස පරීක්ෂක වෙත යවන ඉල්ලන්නේ ස්වේස සහගතවයි. ඔහුගේ අත් ඔරලෝසුවයි ජංගම දුරකතනයයි මුදාහරින ලෙසට ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා - දෙපාර්ශ්වයම කරුණු කියනවා එක එක්කෙනා ගැහුවා කියලා. මේක හරියට විමර්ශනය කළ යුතුයි.

පොලිසිය ස්වාමිනී -  පොලිස්පතිවරයාගේ නියෝග මත පරික්ෂණ පවත්වලා 14 දෙනකුගෙන්  ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළා. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පෑලියගොඩ පොලිසියෙන් විමර්ශන හරියට සිදු වෙන්නේ  නැහැ. ඒ නිසා මේ විමර්ශනය ගැන සෑහිමකට පත් වෙන්නෙ නැහැ.  

අධිකරණය - ගෙදර වෙච්චි සිද්ධියක් ගෙදරදීම අහන්න බෑ. ඒක එළියේ අය පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් විමර්ශන කණ්ඩායමකට  භාර දෙන්න කියලා පොලිස්පතිට නියෝග කරනවා. ඒ වගේම පොලිසිය භාරයේ ඇති අත් ඔරලෝසුව නැවත ඔහුට භාර දෙන  ලෙසට පොලිසියට නියම කරනවා. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා කැඳවීමට ලබන 15 වැනිදා තෙක් නඩුව කල් තැබීය.



-නිමන්ති රණසිංහ-