chandima-weerakkody

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානය වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බවත් මේ වන විට සමස්ත ජනතාවම ආණ්ඩු  පෙරළියකට පවා පෙළගැහෙමින් සිටින බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ගාල්ලේදී ඊයේ (1) පැවසීය.  ජනතාව බිම් මට්ටමෙන් අප පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ යැයිද ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය. 




 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන  බලමණ්ඩල රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම පිළිබඳවද චන්දිම වීරක්කොඩි මහතා සිය කනගාටුව පළ කළේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීමට රමේෂ් පතිරණ, මොහාන් පී. සිල්වා හා නිපුන රණවක යන මැති  ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28) පැවැත්වූ අතර එම රැස්වීමට හබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා කොට නොතිබිණි.  මේ සම්බන්ධයෙන් ගාල්ලේ දී මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි මහතා මෙසේද පැවසීය.




‘පොහොට්ටුවට අපි අවශ්‍ය නැතෙයි කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. හැබැයි පොහොට්ටුව කියන්නේ බොහෝම පටු විදියට  හිතන දේශපාලන පක්ෂයක් වුණෝතින් ඒක්කෙන් ජනතාව ඈවේවි. අවුරුදු 5කට බලය දුන්නැයි කියලා ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද යන ප්‍රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. ජනතාව අද රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ කියලා රජය හැටියට තේරුම් ගන්න ඕන. ජනතාව බිම් මට්ටමෙන් අප පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. පොහොට්ටුව හැටියට තේරුම් ගන්නේ ඕනේ, අද මං හිතන්නේ සියලු බලවේග  පෙළගැහෙමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න යැයි ද ඔහු කීව්වේය.