kuruvita-dilini-jayasuriya-buttala-si-murder

ඝාතනයට ලක්වු කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි නමැති තරුණිය මේ ආකාර ඉරණමකට ගොදුරුවූ බව ඇගේ වයෝවෘද්ධ මව තවම දන්නේ නැත. ඇය සිදුවීමට දින 4 කට පෙර සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් තිබූ අතර සිය දේශපාලක සහෝදරයාටද ඇමතුමක් ලබාදෙමින් තවමත් සිරිපාදයේ යන බවත් මේ වනවිට සිටින්නේ එරත්නේ බවත් දන්වා තිබුණි. ඇඟලුම් කම්හලක හා කොමියුනිකේෂන් එකක වැඩකරමින් සිටි දිලිනි රැකියා වලින් ඉවත්වන්නේද මව නිසාය.
එජාපයේ තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතවන ඇය තාප්පවල සිතුවම් ඇඳිමට කැමැත්තක් දැක්වූ බවත් සිරිපාදයේ ගොස් අනන්‍යන්ට උදව් කරන්නට මින් ඉහතත් එසේ ගමන් ගොස් තිබූ බවත් කියැවිණි.



නිවසේ ඇය ගත කළේ ඥාති කාන්තාවක , සහෝදරයා හා මව සමගය. ඥාතිකාන්තාව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

“අම්මා විතරයි ඉන්නේ තාත්තා නෑ. මරණය ආරංචි වුණේ ටීවි එකෙන්. පස්සේ පොලීසියෙන් ඇවිල්ලා තිබුණා ගෙදරට. අයිය යි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුර ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නෑ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නෑ. මම තමයි පොඩි කාලේ ඉදලම දරුවන් දෙන්නාව හදාගත්තේ. තාත්තා නැතිවෙලා අවුරුදු 20ක් වෙනවා. “

ඇගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතවන්නට දිලිනිට අයියාගේ පිටුබලයද ලැබී තිබේ.
ඝාතනය සිදුකළ පොලිස් පරීක්ෂකවරයා යහපාලන ආණ්ඩු සමයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන මන්ත්‍රී ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයායි.

ඒ කාලයේදී දේශපාලන කටයුතු සඳහා ඉහත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසේ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රැස්වීම් ආදිය සංවිධාන කර ඇති අතර ඝාතනයට ලක්වූ තරුණිය එකල එම නිවසේ නැවතී සිට තිබේ.

එහිදී පාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නැගණියට මෙම පොලිස් පරීක්ෂකවරයා නිතර හමු වී ඇති බවත් ඇය විසින් ඔහු ‘අංකල්’ යනුවෙන් අමතා තිබෙන බවත් වාර්තාවේ.



ඝාතනය සිදුවීමෙන් පසු මුලින් වාර්තාවූයේ මේ දෙන්නා අතර සම්බන්ධය ගැන නිවසේ සිටි සොයුරා දැන සිටි බව හා විවාහකයෙකු බව දැන නොසිටි බව පමණි. ඇය හා පොලිස් පරීක්ෂකයෙකු අතර පෙම් සබඳතාවක් ඇති බව දැන සිටියත් ඝාතක පොලිස් නිලධාරියා පෙම්වතා ලෙස සිටි බව දැන සිට නැත.
අතර පොලිස් පරීක්ෂකවරයා විවාහකයෙකු බවත් දරුවන් සිටින අයකු බවත් දැන සිටි නිසා මේ දෙන්නාගේ හිතවත්කම පෙම් සබඳතාවක් විය හැකි යයි සොයුරා කල්පණා කර තිබී නැත.

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා මියගොස් ඇති අතර මව රෝගීව එක්තැන්ව කාලය ගත කරන්නීය.

තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරිය යැයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැණ තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේ දී හෙළි වී තිබේ.