අකුරළ මුහුදේ නෑමට ගිය බණ්ඩාරවෙල තරුණයන් දෙදෙනකු පෙරේදා (01) ද පස්වරුවේ දියරළකට හසුවී අතුරුදන්වී ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.මෙසේ මුහුදේ ගිලී අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල, ඇල්ල, උඩඅරාව පදිංචිව සිටි 17 හැවිරිදි තිළිණ උදාර සහ චින්තක ජූඩ් මිලාන් පියරත්න නමැති 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මෙට්ට බෙදාහැරීමට පැමිණි හයදෙනකුගෙන් යුත් පිරිස පෙරේදා (01 වැනිදා) රාත්‍රියේ අකුරළ මුහුදේ නෑමට පැමිණ සිටියදී මෙය සිදුවී ඇතැයි පොලිසිය කියයි.



මෙම හයදෙනා මුහුදේ නාමින් සිටියදී රියදුරු සහායක ලෙස පැමිණි තරුණයා මුහුදේ ගසාගෙන යද්දී ඔහු බේරා ගැනීමට රියදුරු ලෙස කටයුතු කළ තරුණයා පිහිනා ගොස් සිටියදී එහිදී දෙදෙනාම රළ පහරට හසුවී ඇතැයි පොලිසිය කියයි.මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් ශකිල විරාජ් හා පී.ආර්. චලක නමැති තරුණයන් දෙදෙනා පැවසුවේ තමන් ඇතුළු පිරීස රාත්‍රී 8.30 ට පමණ අකුරළ මුහුදේ නාමින් සිටින අවස්ථාවේදී රළ පහරට හසුවී ගසාගෙන ගිය ගෝලයා බේරා ගැනීමට රියදුරු අයියා ගිය බවත් මුල්ම රළ පහරින් ඔවුන් දෙදෙනාම ගසාගෙන ගිය බවත්ය. මුහුදේ ගිලී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා පෙරේදා (01) පෙරවරුවේ නාවික හමුදා යාත්‍රාවක් සෝදිසි මෙහෙයුමක් කළ අතර සිද්ධිය සැලවීමත් සමග විශාල පිරිසක් අකුරළ මුහුදු තීරයට පැමිණ සිටිනු දක්නට ලැබිණි. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 (අම්බලන්ගොඩ - හේමන්ත ද සිල්වා)