iranathiv-covid19

කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ මළ සිරුරු ඉරණතිව් දූපතේ වළ දැමීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබී ඇති පසුබිමක එයට විරුද්ධව ඉදිරිපත්ව ඇති තර්ක ජයගන්නා තත්වයක් දැන් නිර්මාණයවී ඇත.
ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මාධ්‍ය  නිවේදනයකින් දන්වා ඇත්තේ තමන් ජනපති හා අගමැති සමග ප්‍රශ්නය ගැන කතාකළ බවත් ඉරණතිව්හි මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඇතිකිරීමේ පූර්ව සැලසුමකට අනුව ඒ වෙනුවෙන් විදෙස් ආධාර වැඩසටහනකට මින් ඉහත ලියාපදිංචිවී ඇති බව තමන් මතක් කළ බවයි.

ආධාර ලබාදෙන්නන් කොරෝනා දේහ වළ දැමීම ගැන ආරංචිවී එය අත්හරින සූදානමක් පවතින බවයි.ඒ අනුව මිලියන 25 ක පමණ ඇමරිකානු ඩොලර් අහිමිවීයාමේ අවදානමක් මේ හේතුවෙන් මතුවී ඇති බවයි.
මෙම කාරණාව ගැන ජනපති හා අගමැති ඇහුම් කන් දී ඇති බවත් තීරණය මේ නිසා වෙනස්ව ඇති බවත් මාධය නිවේදනයේ දැක්වේ.
මේ අතර තම ප්‍රදේශවල ඇති සුසාන භූමිවල මුස්ලිම් දේහ වළ දැමීමට අවසර දෙන ලෙසත්, එමගින් මතුවන ඕනෑම ප්‍රශ්නයකට තමන් වගකීමට සූදානමින් සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ. එම්. රකීබ් පවසා තිබේ.