උප පොලිස් පරීක්ෂකවරයා තරුණිය ඝාතනය කළ හංවැල්ල හෝටලයට පසුගිය 27 වැනිදා සිට මාර්තු 01 වැනිදා දක්වා පැමිණි සියලුදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හංවැල්ල පොලිසිය පියවර ගෙන ඇත.
 
උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි හා ඔහුගේ අනියම් පෙම්වතිය දිලිනි ජයසූරිය නැවතී සිටි හංවැල්ලේ නවාතැන්පොලේ ඝාතන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන පොලිසිය ඝාතනය සිදුව ඇති බවට සැක කෙරෙන 28 වනදා හෝටලයේ යාබද කාමරවල නැවතී සිටි අය ප්‍රශ්න කිරීමට කටයුතු අරඹා ඇතැයි වාර්තාවේ.



කොරෝනා වසංගතය හේතුවෙන් මෙම හෝටලයේ වෙනදා මෙන් කාමර පිරී ඉතිරී අමුත්තන් නොසිටි බවත් රාත්‍රී නවාතැන්ගන්නට එන අය අඩුවූ බවත් හෝටල් කළමානාකාරිනිය දන්වා ඇති අතර
ඝාතනය සිදුවූ දිනයේ එම හෝටලයේ කාමර පහක යුවළ 5 ක් පමණක් රැඳී සිට ඇතැයි ලේඛනවලින් අනාවරණය කර තිබේ.
එම අයගේ විස්තර හෙළි නොකර ඔවුන් රහසිගත ප්‍රශ්න කිරීමකට ලක් කරන්නට විමර්ශන නිලධාරීන් කටයුතු යොදා ඇත. හෝටලය හිමි කාන්තාවගෙන් හා සැමියාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබේ.
ඝාතනයට ලක්වූ තරුණිය හා උප පොලිස් පරීක්ෂක ගැන ඇසින් දුටු සාක්ෂි එකතුකිරීමට හා ඝාතන සිදුවීම අවස්ථාවේ කෑගැසීමක් හෝ වෙනයම් දෙයක් ගැන හෝඩුවාවන් පවතීදැයි ප්‍රශ්න කිරීමට මෙම සාක්ෂි විමසීම ආරම්භ කර ඇත.


ඝාතනය සිදුවූ බව කියන හෝටලයට පසුගිය 3 වැනිදා මුද්‍රා තබා ඇති අතර හෝටල් කාමරය හා අවට විශේෂ පරීක්ෂණ ගණනාවක් සිදු කිරීමට පොලිසිය කටයුතු කරන ලදි.
හෝටල් කාමර නානකාමරයේ හමුවූ ලේ පැල්ලම් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද මේ වනවිට කැඳවා ඇත.