covid19-jayantha-ranasinghe

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් රෝගියා වන සංචාරක උපදේශක ජයන්ත රණසිංහ වසරකට පසු ඊයේ (4 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයට තම රුධිර සාම්පල ලබා දුන්නේය.


රුධිර සාම්පල ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ වසරකට පසු සිය ශරීරයේ ඇති ප්‍රතිදේහ පරීක්ෂා කිරීමට එම ආයතනයේ ඉල්ලීම පරිදි එහි පැමිණි බවයි.

එසේම කොවිඩ් ආසාදනය වී වසරක් ගත වුවද මෙතෙක් කිසිදු ශාරීරික ගැටලුවක් මතු නොවූ බවද ඔහු සඳහන් කළේය.



දින 18ක කාලයක් කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලැබූ හෙතෙම සෞඛ්‍ය නිලධාරීන් තමන් සුව කිරීමට ගත් උත්සාහය පිළිබඳව කෘතවේදී විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේ වසරකට පසු මෙම පුද්ගලයාගේ රුධිර සාම්පල ගෙන ස්වභාවිකව කොරෝනා සෑදුණු පුද්ගලයකුගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව පර්‌යේෂණ සිදු කරන බවයි.

එසේම මෙම රුධිර සාම්පලය කොවිඩ් සෑදුණු පුද්ගලයකුගෙන් වසරකට පසු මෙරටදී ගත් පළමු රුධිර සාම්පලය බවද ඔහු සඳහන් කළේය.



මෙම පරීක්ෂණය අනුව කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වන ආකාරය පිළිබඳව දැනගත හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එසේම මේ වන විට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කොවිඩ් එන්නත් ලබාගත් 2000ක් පමණ පිරිස එන්නත ලබා මසකට පසු ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයට පර්‌යේෂණ සඳහා තම රුධිර සාම්පල ලබා දී ඇත. ඒ අනුව එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේශ වර්ධනය වන ආකාරය සම්බන්ධවද ඉදිරියේදී දැන ගැනීමට හැකි බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

වරුණි පෙරමුණ