thirupathi-uvindu-samarakoon

විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් ඊයේ (04දා) අලුයම මාවතගම කර්මාන්තපුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ කැමරා ශිල්පීයෙකු ජීවිතක්‍ෂයට පත්ව, රියදුරු ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවතගම පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, දෙරණ මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු වන මහනුවර, ගලගෙදර, උල්පතයාය ගමේ පදිංචිව සිටි තිරුපති උවිදු සමරකෝන් (අවු.24) නමැත්තෙකි.



කොළඹ සිට බෙලිහුල්ඔය බලා වෑන් රථයෙන් ගමන් කර ඇති බවත් මාවතගම කර්මාන්තපුර ප්‍රදේශයේදී වෑන් රථයේ රියැදුරුට නින්දයාමෙන් රථයේ වේගය වැඩිවී මාර්ගය අයින්නේ තිබුණු ලොතරැයි කුටියකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන නා ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. අනතුරෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක හා මාධ්‍යවේදීයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවත් සුළු තුවාල ලැබූ රියදුරු හා තවත් මාධ්‍යවේදීයෙකු මාවතගම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාමින්ද්‍ර ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක බස්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(කුරුණෑගල - අතුල පී. බණ්ඩාරනායක)