election-options

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සහා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැඩ්මනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.  ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. 


එසේ නොමැති නම් අලුතින් සම්මත කරන ලද කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවට දෙවැනි විකල්ප යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇති අතර එහිදී පනහට පනහ වෙනුවට හැත්තෑවයි තිහයි ලෙස මහජන නියෝජිතයන් පත්කර ගත යුතු බවට ද යෝජනා කර ඇතැයි වාර්තතා වේ.  ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අනුව කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රීධුරවලින් සියයට 50ක්ද අනුපාත ක්‍රමය යටතේ මන්ත්‍රීධුරවලින් සියයට 50ක්ද තෝරා ගත යුතු වේ.

එහෙත් එම ක්‍රමයෙන් පළාත් සභාවල ස්ථීර පාලනයක් ගෙනයාම ගැටලුකාරී බැවින් නව පනත අනුව මැතිවරණය පවත්වන්නේ නම් කොට්ඨාස ක්‍රමයට සියයට 70ක්ද අනුපාත ක්‍රමයට සියයට 30ක්ද වශයෙන් මන්ත්‍රීවරුන් පත්කර ගත යුතු  බව ඇමැති තෙන්නකෝන් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.  ඇමැතිවරයා මෙම විකල්ප යෝජනා දෙක ඇතළත් කැබිනට් සංදේශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එය අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවට ඇමැතිවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කිරීම නිසා එය සාකච්ඡාවට ගැනීම ලබන සතියට කල් ගොස් ඇත.



ඒ අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරැණි සමානුපාතික ක්‍රමයට ද නැතිනම් අලුතින් සම්මත කරන ලද කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයටද යන්න ලබන සතියේ දී බොහෝදුරට තීරණය කෙරෙනු ඇත.  වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකු පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණය කර තිබිණි.



-අජන්ත කුමාර -