dilini-premasiri-story

බුත්තල උප පොලිස් පරීක්ෂක අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි සිය විවාහක බිරිය හා දරුවන්ට ඇති ආදරයට බාධා වන මට්ටමට පැමිණි නිසා දිලිනි නමැති අනියම් පෙම්වතිය මරා දැමූ බව අවසන් සටහන බිරිය වෙනුවෙන් තබමින් සිය ඝාතනය සාධාරණීකරණය කර තිබේ.


කෙසේ වෙතත් දැන් හෙළිවන තොරතුරු අනුව ඔහුට අනියම් පෙම්වතියන් තව ගණනාවක් සිටි බවට තොරතුරු ලැබී තිබේ.
පොලිස් සේවයේ ඇමැති ආරක්ෂක අංශයට එකතු වූ ප්‍රේමසිරි මුලින් වැඩ කළේ මර්වින් සිල්වා ළඟය, ඊළඟට හරීන් ප්‍රනාන්දු ළග වන අතර වැඩි කාලයක් හේෂා විතානගේ දේශපාලනඥයාගේ ආරක්ෂකයකු ලෙසද කටයුතු කර ඇත්තේය.

ප්‍රේමසිරිට කුරුවිට පදිංචි තිස්හැවිරිදි දිලිණි යසෝදා ජයසූරිය මුණගැහෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ ආරක්ෂක අංශයේ සේවය කරද්දීය. දිලිණිගේ එකම සොහොයුරා ප්‍රභාත් ජයසූරිය මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රබල ආධාරකරුවකු මෙන්ම 2017 කුරුවිට ප්‍රාදේශීය සභාවටද තරග කළ අයෙකි. දිලිණිට ප්‍රේමසිරි මුණගැහෙන්නේ ප්‍රභාත්ගේ ඡන්ද කටයුතුවලට උදව් කරන්නට පැමිණි ගමන්වලදීය.මේ ප්‍රේමසිරි කියන කෙනාව අපි හඳුනගත්තේ ‘‘ඡන්ද වැඩවලට හේෂා මන්ත්‍රීතුමත් එක්ක අපේ ගෙදර ආව ගිය වෙලාවේ ඒ දවස්වල එයා අපට කතා කළේ පුතේ, දුවේ කියලා.’’ ප්‍රභාත් ජයසූරිය කියයි.

මියගිය දිලිණිගේ මව මේ වනවිට ස්නායු රෝගයකින් ඔත්පලව සිටී. ‘‘මෙයා නිවාඩු ගිහිල්ල එනකොටත් කෝල් කරලා අපේ ගෙදර එනව අම්මව බලන්න කියලා. නංගි එක්කත් හිතවත් වුණාට අපි හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් ඇතිකරගත්තායි කියලා’’ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාත් කියන්නේය.

එස්.අයි. ප්‍රේමසිරි අතින් ඝාතනය වූ දිලිණි ටික කලක් රත්නපුර ප්‍රදේශයේ රක්ෂණ නියෝජිතවරියක් හැටියට කටයුතු කර තිබූ අතර එම රස්සාව අතහැර දැමුවේ සිය සොහොයුරාගේ ඡන්දවැඩවලට උදව් උපකාර කිරීම සඳහාය. ඉන් අනතුරුව කඩුවෙල ප්‍රදේශයේ දුරකථන අලෙවි ස්ථානයක රැකියාවට ආවත් එයද වැඩි කලක් කර නැත. දිලිණි-ප්‍රේමසිරි එක්ක සම්බන්ධයක් තිබුණු බව ප්‍රභාත් දැන ගන්නේද ප්‍රේමසිරිගේ සොහොයුරියක ලෙසින් කතා කළ අනියම් පෙම්වතියක නිසාය. දිනක් ප්‍රභාත්ට දුරකථන ඇමැතුමක් දුන් ප්‍රේමසිරිගේ අක්කා යයි කියූ අයෙකු, තම සොහොයුරා දෙදරු පියෙක් බවත්, ඔහු සමග දිලිනිට සම්බන්ධයක් පවතින බවත් එය  නවත්වන ලෙස දිලිණිට අවවාද කරන ලෙසත් කියා තිබුණි.
එසේ කියන තුරුම ප්‍රභාත් එවන් සම්බන්ධයක් ගැන දැන සිටියේ නැත.
ඔහු එය නැගණීයගෙන් විමසුවත් ඇය කියා ඇත්තේ මෙසේය.
‘‘අනේ අයියෙ නාකි මිනිහෙක් එක්ක මඟුල් නටන්න මට පිස්සුද?’’  සිය සොයුරිය තමාට බොරු නොකියන බව එදා ප්‍රභාත් විශ්වාස කළේය.
අනතුරුව සතියකට පසූ ඒ කාන්තාවම නැවත ප්‍රභාත්ට කතා කර තිබෙන අතර එම අවස්ථාවේ ඇය පවසා ඇත්තේ තමා පොලිස් පරීක්ෂකවරයාගේ අක්කා නොවන බවත් තවත් අනියම් බිරියක බවත්ය. තිදරු මවක වන තමා සමග ඇසුර අතැරදමා දිලිනි සමග  සම්බන්ධවී ඇති නිසා එය නවතා දෙන ලෙස ඇය ඉල්ලා ඇත.

එසේ බලද්දී ප්‍රේමසිරිට පෙම්වතියන් ගණනාවක් සිට ඇති බවත් දිලිනි එක් අයෙකු පමණක් බවත් පෙනී යයි.

හිස කඳෙන් වෙන් කළ සිය ළාබාල පෙම්වතියගේ සිරුර පිටකොටුවේ දෙනෝදාහක් මැද තනිකර දමන ප්‍රේමසිරි වහාම යන්නේ බඩල්කුඹුරේ සිය බිරිඳ සහ දරුවන් දකින්නටය. සිය හපන්කම ගැන රූපවාහිනියේ දකින්නේ එහිදීය.



අවසානයේදී ප්‍රේමසිරි සියදිවි හානිකර ගන්නට තීරණය කරන්නේය. ඒ මේ අපරාධයෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැති බව පොලිස් නිලධාරියකු වූ ඔහු දැනගෙන සිටියේය.
පොලිස් නිලධාරීන් ඉදිරි දොරෙන් ගෙට එනවිට ප්‍රේමසිරි පෑල දොරින් එළියට බසින්නේ ‘‘පොලිසියෙන් ඇවිත්, මම අසපුවට යනව මොකද කියල බලන්න’’ යැයි ගේ පිටුපස රෙදි සෝදමින් සිටි සිය බිරිඳට කියමිනි. ඒ ඔහු සිය බිරිඳ හා කතා කළ අවසන් වචන කීපයයි. පොලිස් නිලධාරීන්ගෙන්ද බිරිඳ තොරතුරු දැනගන්නා විට ප්‍රේමසිරි රබර් වත්තෙන් කැලෑවට පැන හමාරයි. ඔහු සිය බිරිඳට ලියූ ලිපිය හමුවන්නේ එතනදීය. එය පිටු තුනක ලිපියකි.

‘‘මට සමාවෙන්න මගේ ජීවිතේ මගේ පණ මගේ පවුල. මොන දේ කළත් මම එක දුන්නේ පවුලට’’ එහි ලියා තිබුණි. ‘එස්.අයි. අංකල්, එස්අයි අකංල් කිය කියා එයා මට ළංවුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට කොපමණ ආදරේද කියලා. මම ඒ ළමයා කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පස්සේ ඔයාටයි ළමයින්ටයි බණින්න ගත්තා. මට එපා වුණා. නවත්වමු මේ සම්බන්ධෙ කිව්වා. එහෙම බෑ කියල නොයෙක් දේ කිව්වා කළා. ඒක ඔයා දන්නවා. යැයිද ඔහු එම ලිපියේ වැඩිදුරටත් ලියා ඇත්තේය.
ඔහු එසේ ලීවත් ඇත්ත වශයෙන්ම ඔහු පවුලට ද්‍රෝහීවී ඇත්තේ දිගු කලෙක පටන්ය. ඔහුට අනියම් ඇසුරුකම් වැහිවැහලාය.
 ළාබාල පෙම්වතිය දිලිනිගේ තතු බිරිඳගේ කනට ගොස් ගෙදර  අඹුසැමි අඬදබර අඩුවක් නැතිව සිදුවී තිබේ.
ලිපියේ කරුණු වැඩිදුරටත් විමසද්දී දිලිනි ගැන බිරිය දන්නා නිසා වැඩිදුර කරුනු පමණක් ඇතුළත් කර ඇති වගද පෙනී යයි.

‘මොනතරම් නින්දා අපහාස ආවත් මහ මෙරක් වගේ උහුලගෙන දරුවොත් එක්ක ඉන්න.’ යැයි සිය බිරිඳට ලියූ ලිපිය අවසන් කළ ප්‍රේමසිරි කුස්සිය පැත්තෙන් කැලෑවට වැදී සිය කලිසමෙන් තොණ්ඩුව සාදාගෙන ගසක එල්ලී මිය යන්නේ වස බෝතලයක්ද පානය කිරීමෙන් පසුවය. ඒ සිය ළාබාල පෙම්වතියගේ හිසට වූ දෙය ගැන තවමත් ලෝකයට අබිරහසක් ඉතිරි කරමිනි.

මීට වසර කීපයකට පෙර ප්‍රේමසිරි දිවි නසාගත් තැනට අසන්නයේදීම ප්‍රේමසිරිගේ නැගණියද ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණේ මෙවැනිම ආලයක පැටලීමේ ප්‍රතිඵලයක් හැටියට බවට වාර්තාවී තිබේ.