ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුගේ නැතිවූ මුදල් පසුම්බිය අහලා නැවත ඔහුට බාරදුන්නව හැවිරිදි පාසල් සිසුවකුගේ ආදර්ශවත් ක්‍රියාවක් ගැන පුවතක් බලපිටියෙන් වාර්තාවේ. මෙම සිසුවා බලපිටිය රේවත ජාතික පාසලේ 4 සී වසරේ ඉගෙනුම ලබන පී. තෙනුල් දෙවින්ද උබේවික්‍රමය.ඉකුත් දිනක අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ බස් රථයක කොන්දොස්වරයකු ලෙස සේවය කරන බලපිටිය පාතමුල් පදිංචි සනත් කුමාර මහතා සේවය නිමවි සිය නිවෙසට ගිය පසු කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය නොමැති බව දැන දැඩි අපහසුතාවට පත්වූයේ තම බැංකු කාඩිපත්,

ජාතික හැඳුනුත, රියදුරු බලපත්‍රය හා යතුරුපැදියේ බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය ඇතුළු වටිනා ලියකියවිලි රැසක් එහි තිබූ නිසාවෙනි. සිය මුදල් පසුම්බිය නැති වී පැය භාගයක් යන්නටත් මත්තෙන් තිබූ පරිදිම යළි මුදල් පසුම්බිය ඔහුගේ අතට පත්විණ.මේ ගැන සනත් කුමාර මහතා එය සොයා දුන් දරුවා ගැන සිය ප්‍රශංසාව පළ කරමින් මෙසේ කීය.මුදල් පසුම්බිය නැතිවෙලා කියලා දැන ගත්තේ ගෙදර ආවට පස්සේ. අනික පර්ස් එකේ කොපමණ සල්ලි තිබුණද කියල මතක තිබුණේ නැහැ. මම අපහසුතාවට පත්වුණේ එහි තිබූ වටිනා ලියකියවිලි නිසයි.

විනාඩි කිහිපයක් ගතවෙනකොට මගේ අයියා දුරකතන පණිවුඩයක් දීලා මට කිව්වා ඔයාගේ පර්ස් එක විජේසිරි කඩේ දිලිප් අයියාගේ පුතා ඇහිඳලා තියෙනවා කියලා. මම කඩේ ගිහින් ඒ දරුවා පර්ස් එක දුන්නම මට හිතාගන්න බැරිවුණා. එහි සියලු ලියකියවිලි සුරක්ෂිතව තිබුණා. තෙනුල් දරුවා තම පියාට කියා තිබුණා තාත්තේ පර්ස් එක අයිති මාමා හොයාගෙන ගිහින් ඒක දීලා එමු කියලා. ඒ අනුවයි අයියාගේ දුරකතන අංකය හොයාගෙන ඒ ගැන දැනුම්දීලා තිබුණේ. පර්ස් එකේ රුපියල් දොලොස් දහස් හාරසියක මුදලකුත් තිබුණා. ඇත්තටම මේ වගේ ආදර්ශවත් දරුවන් ගමට රටට වගේම හදපු වඩපු මවුපියන්ටත් වාසනාවක්. මම දරුවාට එහිදී පොඩි තෑග්ගක් දුන්නත් දරුවා එය බාර ගත්තේ නැහැ.
(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)