big-matches-approved

මෙම වසරට නියමිත පාසල් මහ ක්‍රිකට් තරඟ පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹ ඊයේ (03) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසුවේ හඳුන්වාදී තිබෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවයි.  මාධ්‍යවේදීන්ගේ විමසීම් වලට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
 



“රාජකීය - ශාන්ත තෝමස් මහ තරගය හම්බන්තොට දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අපිට දැනගන්නට ලැබෙනවා මේ වනවිටත් ආනන්ද - නාලන්දා, රිජ්මන්ඩ් - මහින්ද ආදී පාසල්වල මහ ක්‍රිකට් තරග මෙම වසරට පැවැත්වීමට සුදානම් වන බවත්  පාසල් මහ ක්‍රිකට් තරග විතරක් නෙමේ, පාපන්දු, රග්බි, මලල ක්‍රීඩා ආදි ඕනෑම ක්‍රීඩාවන්ට අදාළව පාසල් තරග දැන් පවත්වන අවසර දීලා තිබෙනවා. එකම කාරණය වන්නේ සෞඛ්‍ය නිරෝධායන නීති උල්ලංඝනය නොවන ආකාරයට තරග සංවිධානය කළ යුතුයි"..


“ඒ නිසා පාසල් මහ ක්‍රිකට් තරග වගේම අනෙකුත් ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමට දැන් පාසල් පසුබට විය යුතු නෑ.  මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධ වෙමින් කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවනු ලැබූ පාසල් ක්‍රීඩා තරග යළි ආරම්භ කිරීමට සැලසුම් ඉදිරිපත් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන උපදෙස් මාලාව යටතේය.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ ජාතික ක්‍රිකට්  තේරීම් කමිටුව කඩිමුඩියේ පත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඒ එම කමිටුව පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.


"තේරීම් කමිටු පත් කරන්න දැන්මම අතගහන්නේ නෑ. මේ පත් කරන තේරීම් කමිටු ටික කාලයකට විතරක් තියා ගන්න අපේ අදහසක් නෑ. ඒ නිසා යම් යම් කාරණා උඩ ඊට ටික කාලයක් ගතවිය හැකියි. එහෙම කඩිමුඩියේ කමිටු පත්  කරලා වැරැද්දක් වුණොත් ඒකටත්  වගකියන්න වෙන්නේ අපටයි."  ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මහේල ජයවර්ධන, එහි සාමාජික කුමාර් සංගක්කාර යන මහත්වරු ඇතුළු එම සභාවේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.