jaffna-mother

මාස නවයක් පමණ වයසැති තම සිඟිති දියණියට වේවැලකින් අමානුෂික ලෙස පහර දෙමින් විවිධ වද හිංසා
සිදුකරමින් බරපතළ ලෙස කෘෘරත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිසියේ ළමා
හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කාන්තාව මානසික රෝග
විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව ලබන 9වැනිදා අධිකරණය


හමුවට ඉදිරිපත් කරන ලෙස යාපනය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නලනී සුභාහරන් මහත්මිය
පෙරේදා (2දා) නියෝග කළාය.

සැකකාර මව විසින් වේවැලකින් පහර දෙමින් විවිධ වදහිංසා පමුණුවමින් කෘෘරත්වයට පත්කර ඇති මාස
නවයක් පමණ වයසැති සිඟිත්තියද යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත්
කර ඊට අදාළ වෛද්‍ය වාර්තාවද එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය
යාපනය මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු
ලැබුවාය. සැකකාර මව සහ සිඟිත්තිය පරිවාස භාරයට පත්කර රැකවරණ සලසන ලෙසටද
මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කළේ
යාපනය අරියාලේ නාවල්අඩි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ කාන්තාවකි.  



සැකකාරිය විදේශ රටක රැකියාවක නියැළී සිට ඇති අතර ඇය දිවයිනට  පැමිණ ඇත්තේ  මීට මාසකට
පෙරදී බවත් ඇගේ සැමියාද විදේශ රටක සේවය කරන බවත් අධිකරණයේදී අනාවරණ විය.  ඇයට සහ
දරුවාට ජීවත්වීමට සැමියා මුදල් නොඑවන නිසා මෙම කාන්තාව  මානසික පීඩනයකට ලක්ව සිටින බවත්
දරුවාට වදහිංසා පමුණුවා ඇත්තේ එම දර්ශන සැමියාට පෙන්වීමේ අරමුණින් බවත් අධිකරණයේදී කියැවිණි.  

සැකකාර මව මාස නවයක් වයසැති තම සිඟිති දියණියට වේවැලකින් තදබල ලෙස පහර දෙමින් විවිධ
වදහිංසා පමුණුවමින් බිම දිගේ ඇදගෙන යමින් ඇය කෘෘරත්වයට පත්කරන අයුරුත් එම අවස්ථාවේ දැරිය
වේදනාවෙන් හඬා වැටෙන අයුරුත් දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ
සංසරණය විය. එම දර්ශන පෙළ කෙරෙහි සිය අවධානය යොමු කළ යාපනය දිශාව භාර නියෝජ්‍ය
පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක
මහතාට නියෝග කළේ මෙම අපරාධය පිළිබඳව කඩිනම් විමර්ශනයක් මෙහෙයවා සැකකාර මව අත්අඩංගුවට
ගන්නා ලෙසයි. යාපනය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත
යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ

මෙහෙයවීම මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර
විමර්ශන සිදුකරයි.

අනුරාධපුර _ආනන්ද කරුණාදාස,  වවුනියාව - එන්. ප්‍රියදර්ශනී, මුලතිව් - ශෂි කුමාර්, වවුනියාව
-රසාදි චතුරංගි ගමගේ