a350-sri-lanka

A350/900 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් 2016 වසරේදී අවලංගු කිරීම හේතුවෙන් පසුගිය වසරේ අවසානය වනවිට මෙරටට ඇමෙරිකානු ඩොලර් විසිදෙකෝටි දහඅටලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක (රුපියල් මිලියන 4347ක) පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.2015ට පෙර පැවැති ආණ්ඩු සමයේදී A350/900 වර්ගයේ ගුවන් යානා 04ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කර තිබූ අතර,

එවැනි ඇණවුම් කිරීමකදී ලැබෙන ප්‍රදානයක් ලෙස පුතු ගුවන් කට්ටලයක් ලබා දී ඇති බවද වාර්තා වේ.ඊට අදාළව අත්සන් කර තිබූ ගිවිසුම් අවලංගු කිරීමෙන් රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව සඳහන් කරමින් පසුගිය රජය විසින් ඊට අදාළ ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කළේය. ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙවීමටද කටයුතු කර තිබේ. මෙම ගෙවීම් කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව සිදු කර ඇති බවද අනාවරණය වී ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේදී එකඟ වී ඇති කොන්දේසියකට අනුව 4ආර් /ඒඑල්ස්එස් නමින් පසුව ලියාපදිංචි කළ පැරණි A330 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබාගැනීමට සිදුව තිබේ.

දැනට ඉතා අවම ලෙස භාවිත කරනු ලබන මෙම ගුවන් යානය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05කට අධික මාසික කුලී වාරිකයක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුව ඇත.එමෙන්ම එහි තවත් කොන්දේසියකට අනුව වසර 13ක් භාවිත කිරීමෙන් පසු නැවත භාරදීමට නියමිතව තිබූ A330/200 වර්ගයේ පැරණි ගුවන් යානා 04ක් තවදුරටත් වසර 04ක් භාවිත කරමින් කුලී ගෙවන ලෙස සඳහන් වූ කොන්දේසියකටද යහපාලන රජය විසින් එකඟ වී තිබේ.

 (නවෝද්‍යා පවනි)