QAnon Conspiracy movement

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී නුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ල වෙත ඊයේ  (04දා) දිනයේදීත් යම් ආයුධ සන්නද්ධ කණ්ඩායමකගේ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.  එක්සත් ජනපදයේ ෆෙඩරල් බලධාරීන් සහ අගනුවර පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ තොරතුරු අනුව මෙම කරුණු සඳහන් කර තිබුණි. මෙම ප්‍රහාරයේදී කැපිටල් හිල් ගොඩනැගිලි සංකීර්ණයට හෝ එහි සිටින කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් වෙත හෝ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබූ බව පැවසෙයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ දිනය තුළදී කැපිටල් ගොඩනැගිල්ල ඇතුළුව ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරනට පොලීසිය පියවර ගෙන තිබේ.




මෙහිදී  QAnon Conspiracy movement නම් අන්ත දක්ෂිණාංශික සංවිධානයක් මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ආරක්ෂක අංශ පවසයි. ඔවුන් හිටපු ජනපති ට්‍රම්ප් වෙත පක්ෂපාතීත්වය දක්වන පිරිස් බවත්, පැවැති ජනපතිවරණයෙන් පැහැදිලිවම ජයගත්තේ නම් ඔහු දිවුරුම් දීමට නියමිතව තිබුණේ ඊයේ (මාර්තු 04දා) දිනය බව සඳහන් කරමින් ඔවුන් මෙම ප්‍රහාරය සැලසුම් කරන බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.




පසුගිය ජනවාරි 08දා වොෂිංටන් නුවරදී ක්‍රියාත්මක උද්ඝෝෂණය අතරවාරයේදී කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඒ වෙත ප්‍රහාර එල්ලවීමේ දැඩි අවදානමක්ද මතුව පවතී. මෙම තත්ත්වයත් සමග ඊයේ දිනයේදී නියෝජිත මන්ත්‍රී  මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතව තිබූ සභා වාරයක්ද අත්හිටුවීමක් සිදුව ඇතැයි පැවසෙයි.