canada-vaccine

කැනඩාව තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණය යටතේ මාත්‍රා දෙකක් අතර පරතරය මාස හතරක් දක්වා නියම කිරීමට එරට ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ විශේෂඥයන්ගෙන් යුත් ජාතික කමිටුවක් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. 

එරට තුළ පවතින එන්නත් හිඟතාව මගහරිමින් හැකි උපරිමව එරට ජනතාවගෙන් වැඩි පිරිසකට එන්නත් මාත්‍රාවක් ලබාදීම අරමුණු කරගනිමින් මෙලෙස දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන කාලය දීර්ඝ කෙරී ඇත. මෙම කමිටුව මගින් සිදුකළ නිර්දේශය එරට පළාත් කිහිපයක්ම පිළිගෙන ඇති අතර, අගමැති ජස්ටින් ටෘඩෝද මෙම තීරණය හරහා එරට තුළ එන්නත්කරණය පිළිබඳ යම් සුබවාදී අවස්ථාවක් ඇතිවනු ඇතැයි පවසා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියෙකු, මෙය අත්හදා බැලීමක් ලෙස සැලකිය යුතු බවත්, ලොව කිසිදු රටක් මෙවැනි පියවරක් ගෙන නොමැති බවත් පවසා ඇත. දැනට කැනඩාව තුළ අනුමත වී ඇති cOVID-19 මර්දන එන්නත් වන Pfizer, Moderna සහ AstraZeneca යන එන්නත් පළමු වැනි මාත්‍රාව ලබාදී සති තුනක් හෝ හතරක් ඇතුළතදී දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුය. එසේම Johnson and Johnson සමාගම මගින් ඉදිරිපත් කර ඇති එන්නත මගින් ලබාදිය යුතු වන්නේ එක් මාත්‍රාවක් පමණකි. එහෙත් මෙතෙක් එම එන්නත කැනඩාව තුළ අනුමත කර නැත.