unawatuna-atm-theft

වෛද්‍යවරයකුගේ බැංකු කාඩ්පතක් වංචනික ලෙස භාවිතකර රුපියල් දස දහසක පමණ මත්පැන්, ආහාර පාන සහ ශබ්ද විකාශන යන්ත්‍ර උපකරණ මිලට ගත් සැකකරුවකු ඔහුගේ දිගු කොණ්ඩය නිසා පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුනේ සංචාරක මග පෙන්වන්නකු වූ බූස්ස හැඳල පදිංචි සැකකරුවකු බව පොලිසිය කියයි.   වෛද්‍යවරයා ගාල්ල නගරයේ බැංකු ශාඛාවකට පැමිණ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගෙන කාඩ්පත ගැනීමට අමතකව ගොස් ඇත.




ඒ සමගම ඒ.ටී.එම්. යන්ත්‍රය වෙත පැමිණ ඇති සැකකරු වෛද්‍යවරයාගේ කාඩ්පත ගෙන නගරයේ වෙළඳ සල් තුනකට ගොස් බෆල්, මත්පැන් සහ ආහාරපාන තොගයක් ලබාගෙන   කාඩ්පතින් භාණ්ඩ ලබාගත් බවට වෛද්‍යවරයාගේ ජංගම දුරකතනයට ලැබුණ කෙටි පණිවුඩය අනුව වෛද්‍යවරයා පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම වෙළඳසල්වලට ගොස් ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂා කිරිමේදී භාණ්ඩ ලබාගත් පුද්ගලයා දිගු කොණ්ඩයක් සහිත කෙනකු බවට තහවුරු කර ගෙන ඇත.  සැකකරු සංචාරක මග පෙන්වන්නකු බවට සැක කළ පොලිසිය උණවටුන ප්‍රදේශයට ගොස් එවැනි පුද්ගලයෙකු පිළිබඳ සොයා බැලීමේදී ඡායාරූපයේ සිටි පුද්ගලයා එක් කාන්තාවක විසින් හඳුනාගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. කාඩ්පතින් මිලදී ගෙන ඇති භාණ්ඩද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


-ඩී.පී. සුගතපාල-